ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක්


වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. නිලවරණයකින් පත්වූ නිලධාරි මණ්ඩලයට ස්වාධීනව කටයුතු කරගෙන යෑමට ආණ්ඩුවෙන් ඇති බලපෑම් හේතුවෙන් මෙම තීරණය අයි.සී.සී.ය ගෙන තිබේ. මෙම තහනමට අදාල සියලු කොන්දේසි ඉදිරියේ දී දැනුම් දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දන්වා තිබේ.


මේ සමගම ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ සියලු ක්‍රිකට් කණ්ඩායම්වලට අහිමිවනු ඇත. 


එසේම 19න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ අවස්ථාවද අහිමි වනු ඇතැයි වාර්තාවේ. එසේම අයි.සී.සී.ය ශ්‍රී ලංකාවට ලබා දෙන සියලු ප්‍රතිපාදනද මේ අනුව නතර වනු ඇත. 

අයි.සී.සී. නීතිරීති අනුව නිලවරණයකින් පත් වූ සභාපතිවරයා සහ නිලධාරි මණ්ඩලය පමණක් යම් රටක අයි.සී.සී.යේ නිල නියෝජිතයා වශයෙන් පිළිගැනෙන අතර මීට පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු කරන දේශපාලන අතපෙවීම් නතර කරන්නැයි අයි.සී.සී.ය දන්වා තිබුණි. එහෙත් ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු බව සහ එහෙයින් අතුරු කමිටුවක් පත් කළ යුතු බව වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණය විය. 


පසුගිය බ්‍රහස්පතින්දා (09දා) දිනයේ දී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු සාමාජිකයන්ගේ කැමැත්තෙන් යෝජනාවක් සම්මත වූ අතර මෙහි දී අදහස් දැක්වූ ඇමති කංචන විජේසේකර කියා සිටියේ යම් හෙයකින් අයි.සී.සී.ය  ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවුවහොත් ඒ පිළිබඳ වගකීමද පාර්ලිමේන්තුවේ සියලු දෙනා විසින් භාරගත යුතු බවයි. 


ක්‍රිකට් තහනම් කරන්න කුමන්ත්‍රණයක් 

- සජිත් 

මේ අතර සිකුරාදා (10දා) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ක්‍රිකට් පරිපාලනයේ සිටින නිලධාරීන් ඉන්දියාවේ සහාය ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක් කිරීමට කුමන්ත්‍රණ කර ඇති බව පැවසීය. එසේම තමන් දිවි හිමියෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීමට කැපවන බවද ඔහු පැවසීය. 


මෙහිදී පිළිතුරු දුන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවේ යම් හෙයකින් අයි.සී.සී.ය ක්‍රිකට් තහනමක් පැනවූවොත් අදාළ කාලයේ ක්‍රිකට් ආයතනයේ වගකීම අර්ජුන රණතුංග මහතාට පවරන බවයි. එසේම සඳුදා (13දා) දිනයේ දී තමන් අභියාචනාධිකරණයට යන බවත්, දූෂිත ක්‍රිකට් නිලධාරීන් ඉවත් කිරීමට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයටද යන බවත් ඔහු පැවසීය. එසේම නීතිපතිවරයා ගැන තමන්ට විශ්වාසයක් නොමැති වීම නිසා ඉදිරි නඩු කටයුතු සඳහා පෞද්ගලික නීතිඥ සහාය ලබා ගන්නා බවද ඔහු පැවසීය.

 

 


තහනම් කළොත් ක්‍රිකට් ආයතනය අර්ජුනට දෙනවා 

- රොෂාන්

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්  විධායක කමිටුවේ සියලු සාමජිකයන්ට නොවැම්බර් 13 වැනිදා සඳුදා දිනයේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා හමුවෙන ලෙස දන්වා ඇතැයි වාර්තාවේ. ඒ සමගම, නොවැම්බර් 14 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙසටද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දන්වා තිබේ.