ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් ගෙදර


ප්‍රසන්න සංජීව තෙන්නකෝන් 

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් සහ පුහුණුකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ වහාම මෙම පිරිස සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව ද දැනගන්නට ඇත. 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හමුවේ ආසියානු කුසලාන අවසන් තරගයේ දී ලකුණු 50කට දැවී යාමෙන් පසු නිදහසට කරුණු විමසූ අවස්ථාවේදී ඉදිරිපත් කළ කරුණු කිසිවක් කිසිම ආකාරයකින් සිදු කිරීමට මෙම තේරීම් කමිටුව හා පුහුණුකරුවන් සමත්ව නැතැයි ක්‍රිකට් ආයතනයේ මතය වී තිබේ. ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 55කට දැවී යාම සම්බන්ධයෙන් ද කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබිණි. 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ​ඉන්දීය කණ්ඩායම හමුවේ පමණක් මේ ආකාරයෙන් දුර්වල වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අතර දැඩි කුතුහලයක් මතු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම අත්‍යාවශ්‍ය බවද ඔවුන්ගේ මතය වී තිබේ. 


මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයන් වූ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් ආබාධ සුව වෙමින් සිටියදී ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමට ඇතුළු කිරීමට යෝජනා වුවද එයට ක්‍රීඩා ඇමතිවරයා අවසර දී නොමැති බව ද වාර්තා වේ. 


මෙවැනි දීර්ඝ තරගාවලිහිදී සුවවෙමින් ඇති ආබාධ සහිත ක්‍රීඩකයන් යොදා ගැනීම සිදු කරන අතර ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් මේ ආකාරයෙන් කණ්ඩායමට නම් කළ ක්‍රීඩකයෙකු වූ අතර ඔහුගේ ආබාධය සුව වූ සැනින් නැවත කණ්ඩායමට පැමිණ වාර්තාගත ශතකයක් රැස් කිරීමටද ඔහුට හැකි විය.


මේ අතර ඊයේ (03) ද‌ා විශේෂ නිවේදනයක් නිකුත් කළ ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ මහතා යළිත් වතාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට තම තනතුරුවලින් ඉල්ලා අස්වෙන්නැයි දන්වා සිටියේය.