ශ්‍රී ල.නි.ප. මහලේකම් ධුරයට ජ්‍යෙෂ්ඨයන් අතර තරගයක්


අජන්ත කුමාර අගලකඩ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු  වී ඇති මහලේකම් ධුරය සඳහා  පක්ෂයේ  ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂයේ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  ලේකම්වරයකු වන හිටපු මහ ඇමැති සරත් ඒකනායක සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් අතර මේ සඳහා දැඩි උනන්දුවක් ඇති වී තිබෙන බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.


දයාසිරි  ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්කර වැඩබලන මහ ලේකම්වරයා ලෙස නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා පත් කරනු ලැබුවද එම තනතුරේ වැඩ බැලීම අධිකරණය විසින් පසුගියදා වළක්වනු ලැබීය. මේ අනුව එම ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඉකුත් සඳුදා පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පත් කරනු ලැබූ අතර ඉදිරි කාලයේදී ස්ථිර මහ ලේකම්වරයකු පත් කිරීමට නියමිතය.
සරත් ඒකනායක මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨම නියෝජ්‍ය  ලේකම්වරයා වන අතර ඔහු මීට පෙර ද පක්ෂයේ වැඩ බලන මහ ලේකම් ලෙස කටයුතු කළේය. ජාතික සංවිධායක ලෙස කටයුතු කරන දුමින්ද  දිසානායක මහතා ඊට පෙර පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.