වෛද්‍යවරුන්ට දුන්නා නම් අපටත් දෙන්න


පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ

ඉන්දික හේවාවිතාරණ

වෛද්‍යවරුන්ට ලබාදුන් දීමනාවට සාපේක්ෂව අතුරු වෛද්‍ය, පරිපුරක වෛද්‍ය, හෙද හා රෝහල් කාර්ය මණ්ඩල සඳහාත් රුපියල් 35,000 ක දීමනාවක් ලබා දෙන 
ලෙස පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ඉල්ලති.

අදාල ඉල්ලීම සම්බන්දයෙන් 16 වැනි දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.


මෙම වැඩ වර්ජනය සඳහා අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය, හෙද හා අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩල නියෝජනය කරන වෘත්තීය සමිති 100ක් සම්බන්ධ වන බවත්, අතුරු වෛද්‍ය සේවා යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවේ පිරිස් හා පවුල් සෞඛ්‍ය සේවාවේ පිරිස් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වන බවත් එම සංගමයේ ලේකම්  චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.


ඖෂධවේදීන් මෙම වැඩ වර්ජනයට සම්බන්ධ වන දින එදින ඖෂධ නිකුත් කිරීම පවා ඇණ සිටින බවත්, සියලු‍ම රසායනාගාර පරීක්ෂණ  වෘත්තීය චිකිත්සක, භෞතික චිකිත්සක සේවා පවා අඩාළ වන බවත් හෙතෙම පැවසීය.  


හෙද නිලධාරීන් හා රෝහල් කාර්ය මණ්ඩල යටතේ රෝහල් පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය සේවාවේ සංවර්ධන නිලධාරීන්, සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්, රෝහල් ඕවර්සියර්වරුන්, උපස්ථායකවරුන්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය මෙම ක්‍රියා මාර්ගයට සම්බන්ධ වන නිසා එම සේවා පවා අඩාළ වන බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය පසුගිය  09 වැනි දින උදේ 8.00 සිට පැය 24 ක වැඩ වර්ජනයක්  සිදු කළ බවත්,  අතුරු වෛද්‍ය සේවාවට අයත් පිරිස් 10 වැනි දින උදේ 8.00 සිට පැය 48 ක වැඩ වර්ජන ක්‍රියා මාර්ගයක් සිදු කළ බවත්  ලේකම්වරයා පැවසීය.