විසඳුම් නොලැබුණොත් 2 වැනිදා සිට අඛණ්ඩ වර්ජන


ඉන්දික හේවාවිතාරණ


වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක මාසික දීමනාවට සාපේක්ෂව  හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවා හා අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට දීමනා ලබාදෙන ලෙස ඉල්ලා හෙට (01දා) පැය 4 ක කාලයක් සේවයෙන් ඉවත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. 

මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී හා තෝරාගත් රෝහල් ඉදිරිපිට දී විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට කටයුතු කරන බවත්, හෙට (01දා) නිසි විසඳුම් නොලැබුණහොත් 02 දා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බවත් එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.
මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය සඳහා සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72කට අයත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ලක්ෂයක් සම්බන්ධ වී සිටින බව ද හෙතෙම පවසා සිටියේය. හෙද, පරිපූරක අතුරු වෛද්‍ය සේවාවලට හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ආර්ථික යුක්තිය ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකස් කර තිබුණත් මුදල් අමාත්‍යාංශය ඒ සඳහා අනුමතය ලබාදීම ප්‍රමාද කරමින් තිබෙන බව ද ඒ මහතා පවසා සිටියේය.