වියදම් වැඩියි මාස් කන්නයේ වගාව සියයට හැටයි


ඉන්දික හේවාවිතාරණ

 මාස් කන්නය ආරම්භ වී මාස දෙකකට ආසන්න කාලයක් ගත වුවත් සමස්ත කුඹුරුවලින් වගා කටයුතු කර තවමත් ආරම්භ කර තිබෙන්නේ සියයට60 කට ආසන්න ප්‍රමාණයක් වුවද, මේ වන විට සමස්ත කුඹුරු ප්‍රමාණයම වගා කිරීම ආරම්භ කර තිබිය යුතු බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

මෙම කන්නයේ දී හොඳ තත්වයේ බිත්තර වී කිලෝවක මිල රුපියල් 550 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, වී වගාවේ මූලික බිම් සකස් කිරීමේ වියදම් පවා ඉහළ යෑමෙන් වගාකටයුතු ආරම්භ කර ගැනීමට නොහැකි ලෙස සමහර ගොවීන් අසරණ වී සිටින බවත් එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේය. පසුගිය යල කන්නයේ පැවැති වියළි කාලගුණ තත්වය නිසා වගාවන්ට හානි සිදුවූ බවත්, මීට පෙර කන්නවලදී විවිධ හේතු නිසා වගා හානි සිදුව තිබෙන බවත්, වගා හානිවලට නිසි ලෙස වන්දි මුදල් නොලැබීම හා වී අස්වැන්නට නිසි මිලක් නොලැබීම නිසා බොහෝ ගොවීන්ට වගා කටයුතු ආරම්භ කිරීමට වත්කමක් නොමැති වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
පසුගිය කන්නවල හොඳ තත්වයේ බිත්තර වී කිලෝවක් රුපියල්  තුන්සීයත් හාරසීයත් අතර මුදලකට අලෙවි වූ බවත්, මේ වන විට එම මුදල රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, අක්කරයක වගාකටයුතු සඳහා බිත්තර වී කිලෝ තිස්පහත් හතළිහත් අතර ප්‍රමාණයක් අවශ්‍ය  බවත් ඒ මහතා සඳහන් කළේය.