විපක්ෂයේ විරෝධය අමු පිස්සුවක්


බංකොලොත්භාවය හොයන කමිටුවේ සභාපති සාගර විපක්ෂවලට දන්වයි

සුජිත් හේවාජුලිගේ

රටේ ආර්ථීක බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ධුරය තමාට හිමිවීම සම්බන්ධයෙන් විපක්ෂය  විරෝධය පළ කිරීම අමු පිස්සුවක් බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා එසේ විරෝධය පළ කරන දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇත.

කමිටුවේ කටයුතු ආරම්භවීමටත් පෙර තමාගේ සභාපතිත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සාධාරණ  සහ යුක්තිසහගත නොවන බවත්  විපක්ෂය විරෝධය පළ කළ යුත්තේ එම කමිටුවේ කටයුතු නිසියාකාරව  නොවන්නේ නම් පමණක් බවත් ඔහු සඳහන් කළේය.


කමිටුවේ කටයුතු හරියාකාරව සිදු නොවන්නේ නම් එම කමිටුවේදීම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට විපක්ෂයට හැකියාව ඇති බව පැවසූ කාරියවසම් මහතා එවැනි කමිටුවක තමාට තනි මතයට කටයුතු කිරීමේ හැකියාවක් නැතැයිද  ප්‍රකාශ කළේය.


මෙම කමිටුවට පැවරී ඇත්තේ ආර්ථීක බංකොලොත්භාවය පිළිබඳව සෙවීම සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම හෙයින්  එලෙස ඉදිරිපත් කරන නිර්දේශ වැරදි නම් ඔවුනට ඒ සඳහා ඕනෑම මොහොතක මැදිහත්විය හැකි බවත්  තමාගේ සභාපතිත්වයට එරෙහිව  විපක්ෂය කරුණු සොයා බැලීමකින් තොරව මෙලෙස සාම්ප්‍රදායික ලෙස විරෝධය පළ කිරීම ගැන කනගාටු වන බවත් ඔහු කීවේය.


මේ සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී ද ඉදිරි දිනවල කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.