විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ල 22ට විරුද්ධයි - පෙත්සම් කාලය හෙටින් අවසන් - උසාවි තීරණය එන මස 21ට පෙර


සුජිත් හේවාජුලිගේ

ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ විධිවිධාන ඇතුළත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂයේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, නීතිඥ සංගම් ඇතුළු සංවිධාන පනහකට ආසන්න ප්‍රමාණයක් දැනටමත් විරුද්ධත්වය පළ කර ඇතැයි වාර්තා වේ.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂයේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සියල්ල විරුද්ධ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දැනටමත් සිය විරෝධය පළ කර ඇත.
ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ විධායක සභිකයකු වන නීතිඥ ලාල් විජේනායක ද 22 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සිටියි.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කටයුතු කරන දේශපාලන පක්ෂ අතුරින් කිහිපයක් එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනටමත් පෙත්සම් යොමු කර ඇත.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන ඔක්තෝබර් මස මුල පැවැත්වීමට නියමිතය.

ආණ්ඩු පක්ෂය මැතිසබයට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති කාලය ලබන 31 වැනිදා (සඳුදා) අවසන් වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩු විභාගය අවසන් කර දින 21ක් ඇතුළත නඩුවේ තීරණය ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යැවිය යුතුය. ඒ අනුව ලබන මස 21 දිනට පෙර අදාළ තීරණය ලබාදීමට සිදුවනු ඇත.