විදුහල්පති සේවයේ පුරප්පාඩු 6500ක වැඩ බලන ගුරුවරු


ඉන්දික හේවාවිතාරණ

විදුහල්පති සේවාවේ පවතින පුරප්පාඩු  හයදහස් පන්සියකට (6500) අධික ප්‍රමාණය නිසා පාසල් පද්ධතිය දැඩි අර්බුදයකට ලක්වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරයි. 

විදුහල්පති, නියෝජ්‍ය විදුහලපති හා සහකාර විදුහල්පතිවරුන් ලෙස විදුහල්පති සේවයේ  දහසයදහස් පන්සිය  දොළහක් (16,512) සේවය කළ යුතු බවත් එහෙත් මේ වන විට සේවය කරමින් සිටින්නේ  දසදහසක (10,000) ප්‍රමාණයක් බවද එම සංගමයේ සභාපති සුගීෂ්වර විමලරත්න මහතා පැවසීය. 
පවතින පුරප්පාඩුවල ගුරු සේවයේ පිරිස් වැඩ බැලීමේ රාජකාරි සිදුකරණ බවත් ස්ථිර නිලධාරියෙකු නොමැති විට තින්දු තිරණ ගැනීමට නොහැකි බවද  සදහන් කළේය.
සමහර පාසල්වල විදුහල්පති තනතුරේ වැඩ බැලීමේ කටයුතු සිදුකරණූ ලබන්නේ  ගුරුවරුන් බවත් මිට අමතරව නියොජ්‍ය විදුහල්පති හා සහකාර විදුහල්පති තනතුරුවලත් ගුරුවරුන්  වැඩබැලීමේ කටයුතු සිදුකරණ බවද පවසා සිටියේය.


විදුහල්පති සේවාවට බඳවා ගැනීම සඳහා අවසන් වරට තරග විභාගයක් පවත්වා තිබෙන්නේ 2019 වසරේදී බවද සඳහන් කළේය.
මිට අමතරව විදුහල්පති සේවාවට අදාළ කාර්යක්‍ෂමතා කඩඉම් විභාග පැවැත්වීම දිගින් දිගටම කල් දැමීම නිසා දැනට සේවය කරන විදුහල්පතිවරුන් 5,600ක ප්‍රමාණයකට ශ්‍රේණි උසස්වීම අහිමි වී තිබෙන බවද පවසා සිටියේය.

වසරකට අවස්ථා දෙකකදී කාර්යක්‍ෂමතා කඩඉම් විභාග දෙකක් පැවැත්විය යුතු බවද සදහන් කළේය.
එහෙත් පසුගිය වසරට අදාළව එකදු විභාගයක්වත් නොපැවැත් වූ  බවත් , මීට අමතර මේ වසරට අදාළව පළමු විභාගය පසුගිය මාසයේදී පැවැත්වීමට සැලසුම් කළ බවත් එහෙත් එම විභාගයද දින නියමයක් නොමැතිව කල් ගොස් තිබෙන බවද පවසා සිටියේය.


මේ නිසා 2021 වසරේ නොවැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි විදුහල්පති සේවාවේ පළමු ශ්‍රේණියට ඇතුළත් විය යුතු විදුහල්පතිවරුන් 1,800ක් තවමත් දෙවැනි ශ්‍රේණියේ සේවය කරන බවත් බවද පවසා සිටියේය. 


මීට අමතරව  පසුගිය වසරේ ජුනි මාසයේදී තුන්වැනි ශ්‍රේණියේ සිට දෙවැනි ශ්‍රේණියට ඇතුළත් විය යුතු විදුහල්පතිවරුන් 3,800ක් තුන්වැනි ශ්‍රේණියේ තවමත් සේවය කරමින් සිටින බවත්, මෙය විදුහල්පතිවරුන්ට සිදුකරන දැඩි අසාධාරණ ක්‍රියාවක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.