විදුලිය කැපිල්ල නවතන ඉල්ලීම ඉවතට


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර

උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වළකාලන අතුරු නියෝගයක් විදුලි බල මණ්ඩලයට එරෙහිව නිකුත් කරන්නැයි මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් 03 ද‌ා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට මානව හිමිකම් කොමිසම කළ විධානය ක්‍රියාත්මක කිරීම පැහැරහැරීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අපහාස කළැයි චෝදනා කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ඊයේ (03) කැඳවනු ලැබූ අවස්ථාවේ දී මානව හිමිකම් කොමිසම ඉල්ලූ අතුරු සහනය ප්‍රතික්‍ෂෙප කළ ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ලබන 07 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.


මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මින්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලදී.


අධිකරණය ඇමතූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා මෙම රැස්වීමට විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සහභාගී වී නැතැයි පෙන්වා දුන් අතර, අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමකින් අතුරු ඉල්ලීම් කිරීම ගැටලු සහගත යැයිද කීය.


විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් තම සේවාදායකයාට කිසිදු විධායක බලයක් නැතැයිද සියලු විධායක බලය සංකේන්ද්‍රගතව ඇත්තේ සාමාන්‍යාධිකාරීවරයා සතුව යැයිද කීය.


පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු ඉදිරිපත් කරමින් විදුලි කප්පාදුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ඉමහත් අසාධාරණයක් වන හෙයින්ද මෙම සිද්ධිය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වන හෙයින්ද අතුරු සහනය ඉල්ලූ බව දැනුම් දුන්නේය.


නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණය අමතමින් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය හා එහිදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභා පනතේ පැහැදිලිව දක්වා ඇතැයිද කොමිසම එවැනි තීරණයක් ගැනීමේ දී කොමසාරිස්වරුන්ගේ නිසි ගණපූරණයක් අවශ්‍ය යැයිද නඩුව ගොනු කිරීමේදී කොමිසම අදාළ පටිපාටිය අනුගමනය කර නැතැයිද කීවාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම්කරුවන් ඉල්ලා ඇති අතුරු සහනය ලබාදීම ප්‍රතික්‍ෂෙප කළ අධිකරණය කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ලබන 07 වැනිදා යළි කැඳවීමට නියම කළේය.