විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව දින තුනක විරෝධතාවක්


ඉන්දික හේවාවිතාරණ 

යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත අහෝසි කරන ලෙස ඉල්ලා ජනවාරි 03 වැනි දින සිට 05 වැනි දින දක්වා කොළඹදී විරෝධතා තුනක් පවත්වන බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සඳහන් කරයි.

මීට අමතරව, යෝජිත විදුලි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හොත් එදින පාර්ලිමේන්තුව ආසන්නයේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටත්, සම්මත කිරීමට දින නියම කළහොත් අදාළ දිනයට පෙර දිනයේදී විදුලි සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වැඩ වර්ජනයක් සිදුකිරීමටත් තීරණය කර තිබෙන බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.


යෝජිත පනත ඔස්සේ විදුලි පාරිභෝගික ජනතාවට දැඩි බලපෑම් සිදුවන බවත්, මීට අමතරව රටට බලපෑම් සිදුවන බවත්, මේ නිසා ඇතිවිය හැකි විරෝධතා සමනය කිරීම සඳහා ජනවාරි මාසයේදී විදුලි බිල අඩු කරන බවට දේශපාලකයන් ප්‍රකාශ කරමින් සිටින බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
මේ නිසා අදාළ පනත් කෙටුම්පත අහෝසි කරන ලෙස ඉල්ලා ජනවාරි මස 03, 04, 05 යන දිනවල කොළඹදී විරෝධතා ව්‍යපාර තුනක් පැවැත්වෙන බවත්, මෙම විරෝධතා සෑම දිනකම දහවල් 12.00- 1.00 අතර කාලය තුළදී විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිදුවෙන බවද හෙතෙම පැවසීය. 


අදාළ පනත කෙටුම්පත සම්මත වුවහොත් ජනතාවට සිදුවන බලපෑම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ජනතා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු කරන බවත්, මේ අනුව 


ජනවාරි 09 වැනි දා අම්පාරේදී හා 14 වැනි දා කුරුණෑගලදී රැලි පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, අදාළ පනත් කෙටුම් පත ලබන මස 13 වැනි දා හෝ ආසන්න දිනයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් ලේකම්වරයා කීවේය.


විදුලිබල මණ්ඩලය රැක ගැනීම සඳහා විදුලිබල මණ්ඩල සේවකයන්ගේ වෘත්තිය ක්‍රියා මාර්ගවලට අමතරව අවශ්‍ය වුවහොත්  බැංකු, ටෙලිකොම් වැනි රාජ්‍ය ආයතන කිහිපයක සේවකයන්ද  වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකිරීමට දැනටමත් කැමැත්ත පළ කර තිබෙන බවත් හෙතෙම  සඳහන් කළේය.
 විදුලිබල මණ්ඩලය කොටස් කර ඉන්දීය හා චීන සමාගම්වලට විකුණා දැමීමට සැලසුම්  කර තිබෙන බවත්, මෙම සැලසුම්  පරාජයට පත් කිරීමට ගත හැකි සියලු‍ම ක්‍රියා මාර්ග ගන්නා බවත් ඒ මහතා පැවසීය.


යෝජිත පනත් සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා දීමට රජය විසින් කමිටුවක් පත් කර තිබෙන බවත්, මේ අනුව ජනවාරි 03 වැනි දින වෘත්තීය සමිතිවල අදහස්  හා යෝජනා ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් ලංකා විදුලි පොදු සේවක සංගමය සඳහන් කරයි.


 යෝජිත පනත හරහා විදුලි ගාස්තු තීරණය කිරීමේ බලය පෞද්ගලික සමාගම් සතුවන බවත්, මේ ඔස්සේ  විදුලි පාරිභෝගික ජනතාවට දැඩි අසාධාරණකම් සිදුවිය හැකි බවත් එම සංගමයේ සභාපති  මාලක සිල්වා මහතා සඳහන් කළේය.


යෝජිත විදුලි පනතට විරෝධය දැක්වීම සඳහා ජනවාරි 03 වැනි දින සිට 5 වැනි දින දක්වා පැවැත්වෙන විරෝධතා සඳහා දිනකට සේවකයන් හත් දහස බැගින් කොළඹට කැඳවා තිබෙන බවත්, මෙම ක්‍රියාමාර්ග නිසා ජනතාව අපහසුතාවන්ට පත් වීම වළක්වාගැනීමට සේවකයන් විසිඑක් දහසකට අධික ප්‍රමාණය කොටස් වශයෙන් කොළඹට කැඳවන බවත් හෙතෙම පැවසීය.
රජයේ ණය පොලිය ...