විදුලි ඉංජිනේරුවරුන් 159 ක් වසර දෙකකදී රට හැර ගිහින්


ලිහිණි ලියනගේ

පවතින ආර්ථික අර්බුදය හා දැරිය නොහැකි බදු බර හේතුවෙන් 2022 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය ඇතුළත ලංකා විදුලි බල මණ්ඩලයට අනුයුක්තව සේවය කරන ඉංජිනේරුවන්ගෙන් 159ක් ‍විදේශගත වී ඇති බව ඉකුත් මාර්තු 15 වැනිදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළේය. 

විදෙස් ගත වූ ඉංජිනේරුවන්ගෙන් 105ක් සේවයෙන් ඉවත් වීමෙනුත් 54ක් නිල වශයෙන් නිවාඩු අයැදුම් කිරීමෙනුත් විදෙස් ගත වී ඇති බව ද එම සංගමයේ ප්‍රකාශකයෝ එහිදී පැවසූහ. 


ලංකා විදුලි බල මණ්ඩලයේ සේවයට ඉංජිනේරුවන් 1000ක් අවශ්‍ය වුවත් දැනට සේවයේ නියුතුව සිටින්නේ ඉංජිනේරුවන් 744ක් පමණක් බව කී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා, 2022 සිට මේ දක්වා පවතින ඉංජිනේරු හිඟයට පිළියම් ලෙස නව බඳවා ගැනීම් කිසිවක් මේ වෙන තෙක් සිදුකර නොමැති හෙයින් දැනට සේවයේ නියුතු ඉංජිනේරුවන් දිනකට පැය 10ක් හෝ 12ක් කිසිදු අමතර ගෙවීමක් නොමැතිව සේවය කරන බවද සඳහන් කළේය. ඉංජිනේරු හිඟය නිසා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බවත්, ඒ සඳහා පමණක් කොන්ත්‍රාත් පදනම මත ඉංජිනේරුවන් 15ක් පමණක් බඳවා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලය කියයි.


මෙසේ සේවයෙන් ඉවත් වී ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ පළපුරුදු හා ඉතාමත් සංකීර්ණ රාජකාරි කටයුතුවල නිරතව සිටි ඉන්ජිනේරුවන් බව මේ වෙන විට හඳුනාගෙන ඇතැයි ද නව බඳවා ගැනීම් සිදු කළත් එම ඉංජිනේරුවන් පුහුණු කිරීමට යම් කාලයක් ගතවන බැවින් ඉදිරියේ දී විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට බාධා පැමිණිය හැකි බවද ඔවුහු පැවසූහ. නිවාඩු අයැදුම්කර විදෙස් ගත වූ ඉංජිනේරුවන්ගෙන් 20ක් පමණ මේ වන විට සේවයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපි භාර දී ඇති බවත්, මෙසේ නිවාඩු අයැදුම් කර විදෙස් ගත වන්නේ නැවත සේවයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් නොවන බවත් එම සංගමය කියයි. මීට අමතරව දැනට ඉතිරිව සිටින ඉංජිනේරුවන්ගෙන් 50ක් පමණ වීසා අයැදුම් කර ඇති අතර ඔවුන් ද තව මාස කිහිපයකින් සේවයෙන් ඉවත් වීමට අපේක්ෂාවෙන් සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය තවදුරත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.