විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයෙන් රෝහල් පරීක්ෂණ සේවා අඩපණ වේ


ඉන්දික හේවාවිතාරණ

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ  හිඟය නිසා ඉදිරි මාස කීපය තුළ රජයේ රෝහල්වල LT, MRI, PET ස්කෑන් පරීක්ෂණ සේවා අඩපන වීමේ අවදානමක් ඇතිව තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

අදාළ පරීක්ෂණ  කටයුතු සිදුකිරීම සඳහා විකිරණ විද්‍යා  තාක්ෂණවේදීන් එක්දහස් එකසියයක් (1100) සේවය කළ යුතු වුවත් එහෙත් මේ වන විට සේවයේ නිරත වී සිටින්නේ  විකිරණ විද්‍යා  තාක්ෂණවේදීන් හයසිය පනහක් (650) පමණක් බවද එම සංගමයේ  සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය


පවතින ආර්ථීක අර්බුදය නිසා දැනට සේවයේ නිරත වන පිරිසෙන් යම් පිරිසක් විදේශගතවීමට පවා සැලසුම් කරමින් සිටින බවත්  මෙම පිරිස් විදේශගත වුවහොත් රෝහල් සේවා පවත්වාගෙන යාම දැඩි දුෂ්කර කටයුත්තක් වෙන බවද පවසා සිටියේය. මේ  පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම දැනුම්වත් කළත් දැනට පුහුණව අවසන් කර සිටින  නවක නිලධාරීන් දෙසිය දෙනා බඳවා ගැනීමටවත් වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවද සඳදහන් කළේය


මෙම තත්ත්වය තවදුරටත් පැවතිය හොත් ඉදිරි මාස 2, 3 තුළ ලංකාවේ බොහොමයක් රෝහල්වල ශල්‍යාගාර විකිරණ පරීක්ෂණ සේවාව ආදී වූ විකිරණ තාක්ෂණවේදීන් විසින් සිදුකරනු ලබන සේවාවන් බිඳවැටෙනු ඇති බවද කියා සිටියේය. ඇහැලියගොඩ රෝහලේ සේවය කළ එකම නිලධාරිනිය විදෙස්ගතවීම නිසා එම රෝහලේ විකිරණ පරීක්ෂණ සේවාව සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙන බවත් රෝහල් එකසිය හතළිහකින් (140) සිටින්නේ එක් නිලධාරියෙකු හෝ නිලධාරීන් දෙදෙනෙකු පමණක් බවද  සඳහන් කළේය.
පවතින තත්ත්වය තුළ ඉදිරියේදී  කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර, බදුල්ල, මොනරාගල, නුවරඑළිය, රත්නපුර, යාපනය, කුරුණෑගල, රිජ්වේ ආර්යා ළමා රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමාරෝහල, පොළොන්නරුව, පුත්තලම ආදී වූ රෝහල්වල කටයුතු සඳහා දැඩි බලපෑමක් සිදුවිය හැකි බවද පවසා සිටියේය.


මෙම සේවා බිඳවැටීම් තුළ රෝග හඳුනාගැනීමේ පරීක්ෂණ ප්‍රමාද වන අතර මේ හේතුවෙන් සැත්කම් සහ ප්‍රතිකාර සේවාවන් දැඩි ලෙස අඩාළ වීමේ බරපතළ තත්ත්වයක් උදාවනු ඇති බවද සඳහන් කළේය. දැනට රැකියා විරහිතව සිටින 200 දෙනා මීට වසර දෙකකට පෙර  විකිරණ විද්‍යා උපාධිය සම්පූර්ණ කළ පිරිස් බවත් මෙම පිරිස් සේවාවට  කඩිනමින් බඳවා ගැනීම තුළින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් අවම කර ගත හැකි බවද චානක ධර්මවික්‍රම මහතා පවසා සිටියේය.