වැලිකඩ කාන්තා අංශයේ කුඩා දරුවෝ 29ක් සිරබත් කති


සුජිත් හේවාජුලිගේ

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ කාන්තා රැඳවියන් 825 දෙනෙකු සමග කුඩා දරුවන් 29 දෙනෙකු ද රඳවා සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. මෙම දරුවන්, සිය මව්වරුන් සිරගතවීමේදී සහ රිමාන්ඩ් බන්ධනාගාරගත වීමේදී ඔවුන් සමග පැමිණි අය වෙති.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම කාන්තා රැඳවියන්ට මෙන්ම දරුවන්ට ද අවශ්‍ය පහසුකම් සලසා දී ඇත. මේ අතර, වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල ගොඩනැගිලි පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රැඳවියන් මෙන්ම නිලධාරීන් ද ගැටලු‍‍ රැසකට මුහුණ දී සිටින බව ජාතික විගණන කාර්යාලය පවසයි. 

වැලිකඩ කාන්තා අංශයේ සිරකරු රැඳවියන් වටරැක බන්ධනාගාරයටත්, සැකකාර රැඳවියන් මහර බන්ධනාගාරයටත් මාරු කිරීමෙන් මෙම තදබදය යම් මට්ටමකට අඩු කරගත හැකි බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

එසේම, රැඳවියන් බැලීමට පැමිණෙන පිරිස් විසින් බැහැර කෙරෙන ප්ලාස්ටික් බෝතල් අලෙවි කිරීමට විධිමත් ක්‍රමවේදයක් නොමැති බව ද විගණන නිලධාරීන්ට පෙනී ගොස් තිබේ. 

බන්ධනාගාර ආයතනවලින් ඉවත් කෙරෙන ඉඳුල් සහ අනෙකුත් අපද්‍රව්‍ය භාවිතයෙන් කොම්පෝස්ට් පොහොර සෑදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර අමතර ආදායමක් උපයා ගත හැකි වුව ද, ඇතැම් බන්ධනාගාර ඒ සඳහා කටයුතු කර නොමැති බව ද එම වාර්තාවේ දැක්වේ. මෙම තොරතුරු ඇතුළත් වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට අමුණා ඇති විගණන වාර්තාවේ ය.