වැරදි තොරතුරු මත නඩු පැවරූ නිසා ණය ප්‍රශස්තකරණය අඩාළ වුණා - මහ බැංකු අධිපති


උපුල් වික්‍රමසිංහ

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන පසුගිය ජූලි මාසයේ අවසානයට පෙර ක්‍රියාත්මක කළ යුතුව තිබුණත් එය කළ නොහැකි වූයේ විවිධ පාර්ශ්ව වැරදි තොරතුරු මත පදනම්ව එම වැඩසටහනට විරුද්ධව නඩු පැවරූ නිසා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් පී. වීරසිංහ මහතා ඉරිදා ලංකාදීපය සමග පැවති සාකච්ඡාවක දී සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතා වැඩසටහනෙහි ඇතුළත් ඇතැම් එකඟතා ප්‍රමාද වී වුවද මේ වන විට ඉටු කර ඇති බවත්, ජුනි මස 30 වැනිදා වන විට ළඟා කර ගත යුතුව තිබූ රජයේ ආදායම් ඉලක්ක ඉහළ නංවා ගැනීමේ ඉලක්කය පමණක් ඉටු කර ගැනීමට තිබෙන බවත් කී මහ බැංකු අධිපතිවරයා මුළු එකඟතාවලින් සියයට 35 ක් පමණක් ඉටු කර ඇති බවට (ජුනි අග වන විට) සමහර ආර්ථික පර්යේෂණ ආයතන පවසන්නේ වැරදි දත්ත මත යැයිද පැවසීය.


සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රශස්තකරණයට අදා‌ළ කර ගැනීමෙන් එම අරමුදලේ ශේෂය සියයට 50 කින් අඩු වන බවට ඇතැමුන් කරන ප්‍රකාශ සාවද්‍ය යැයි කී වීරසිංහ මහතා දේශීය ණය ප්‍රශස්තකරණයෙන් එම අරමුදලෙහි ශේෂය සෑම වසරකම සියයට 9 න් වැඩි වන්නේ යැයි ද කීවේය.