වැට් බදු පනවන දා සිට බස් ගාස්තු ඉහළ දැමීමේ ඉල්ලීමක්


ඉන්දික හේවාවිතාරණ

ඉන්ධන මත සියයට 18 ක වැට් බදු පනවන  දින සිට බස් ගාස්තු, ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන රථ, ලොරි රථ හා බහාලු‍ම් රථ, කාර්යාල සේවා රථ හා බවුසර් රථ ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන වෘත්තීය සංගම් සඳහන් කරයි.

වැට් බදු ඉන්ධනවලට අමතරව බස් රථ අමතර කොටස්වලට හා බස් රථ ගෙන්වීමෙහිදීත් ගෙවීමට සිදුව තිබෙන බවත්, මේ නිසා ඉන්ධන මත වැට් බදු පනවන දින සිට බස් ගාස්තු ඉහළ දමන ලෙසට මේ මස 20 දා ජාතික ගමනාගමන කොමිෂමෙන් ලිඛිතව ඉල්ලා සිටීමට කටයුතු කරන බවද එකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා සඳහන් කළේය.


සෑම වසරකම ජූලි 01 දා බස් ගාස්තු සංශෝධනයක් සිදුකරන බවත්, මේ අනුව ජනවාරි 01 දා සිට ඉන්ධන මත වැට් බදු පැනවීමට කටයුතු කළ හොත් ජූලි 01 දා සිදුවන  බස්ගාස්තු සංශෝධනයක් ආකාරයටම මෙවර ජනවාරි 01දා සිට ගාස්තු සං‍ශෝධනයක් අවශ්‍ය බවත්, මේ නිසා අදාළ ඉල්ලීම් ජාතික ගමනා ගමන කොමිසමෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කියා සිටියේය.


අනෙකුත් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට අදාළ තීරණ රථ හිමියන්ට හා වෘත්තීය සමිතිවලට ගැනීමේ හැකියාව තිබෙන නිසා ඉන්ධන මත වැට් බද්ද පනවන දින සිට ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන රථ, ලොරි රථ හා බහාලු‍ම් රථ, කාර්යාල සේවා රථ හා බවුසර් රථ ගාස්තු ඉහළ දැමීමට සැලසුම් කර තිබෙන බවත්, බස් ගාස්තු හැර අනෙකුත් සෑම ප්‍රවාහන ගාස්තුවක්ම සියයට10 වැඩි මුදලකින් ඉහළ යන  බවත් හෙතෙම පැවසීය.


 මේ අනුව අවම බස් ගාස්තුව රු. 30- රු.40 දක්වා රු.10 කින් හෝ ඊට වැඩි මුදලකින් ඉහළ දැමීමට බලධාරීන්ට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.


 එතැන් පටන් ගාස්තුව සියයට20 කින් පමණ ඉහළ යා යුතු බවත්, වැට් බද්ද බස් රථ ගෙන්වීමෙහි දී හා අමතර කොටස් මිල දී ගැනීමේදීත් ලිහිසි තෙල් මිල දී ගැනීමේදීත් ගෙවීමට සිදුවන බවත් එම සංගමයේ  ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය.