වාහන බලපත්‍රය ඉල්ලා මන්ත්‍රීවරු පිරිසක් කතානායකට යළි දුක කියති


(සුජිත් හේවාජුලිගේ)   

වාහනයක් මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කෙරෙන තීරු බදු රහිත බලපත්‍රය (පර්මිට්) ලබාදීමට කටයුතු කරන්නැයි පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් යළිත් වතාවක් ඉල්ලීමක් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.   

පවතින ආර්ථික තත්ත්වය යටතේ මේ සම්බන්ධයෙන් තව වසර කිහිපයක් බලා සිටීමට සිදුවනු ඇතැයි මෙහිදී කතානායකවරයා එම මන්ත්‍රීවරුන්ට කරුණු පෙන්වාදී ඇති බව දැනගන්නට ඇත.   


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පසුගිය දිනවල මැතිසබයේදී ද ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරනු අසන්නට ලැබිණි. එසේම මන්ත්‍රීවරුන් පිරිසක් වාහනයක අවශ්‍යතාව සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන්ටද සිය දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   
කොරෝනා ව්‍යාප්තියත් සමග ඇති වූ ආර්ථික තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට රජය තීරණය කළේය. ඒ ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුවය.