ව්‍යාපාරවලින් සියයට 85 ක් ලත් තැනම ලොප්


හේතුව ව්‍යාපාර දැනුමක් නැතිකමලු‍

සුජිත් හේවාජුලිගේ

මෙරට ආරම්භ කරන ව්‍යාපාරවලින් සියයට 85 ක් පමණ ව්‍යවසායකත්ව අධ්‍යාපනයක් නොමැති කමින් ආරම්භයේදී ම වැසී යන බව අධ්‍යයනයකින් හෙළි වී ඇතැයි විශ්වවිද්‍යාල බලධාරීහු පිරිසක් කෙටි, මධ්‍යම හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ  ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභාව අනුකාරක සභාවට පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධානීන් පෙන්වා දුන්නේ ලංකාවේ ආර්ථිකයට සියයට පනහකට වඩා දායකත්වය දෙන්නේ කුඩා ව්‍යාපාර බවයි.
මේ අතර ව්‍යවසායකත්ව සංවර්ධන විද්‍යායතනය පිහිටු වීමට සුදුසු ස්ථානයක් දෙන ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉල්ලීමක් කළේ ය.


ඒ සඳහා කුරුණෑගල ඉදිකර ඇති ටෙක්නෝ පාර්ක්  භූමිය හා ගොඩනැගිල්ල සුදුසු දැයි සොයා බලන ලෙසත්, මේ පිළිබඳව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන ලෙසත්  එම අනු කමිටුවේ සභාපති මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.


එම ව්‍යවසායකත්ව සංවර්ධන විද්‍යායතනය පිහිටුවීමට කමිටුව සහාය දෙන බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාටද  දැනුම් දීමට කටයුතු කරන බවත්  මන්ත්‍රීවරයා කීවේය. මෙම කමිටු රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී වලේබොඩ සහ  අසංක නවරත්න යන මහත්වරුද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් එම්. මානගේ යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.