වසරේ ඉදිරි කාලයට අලුත් අයවැයක් ගෙනෙන සාකච්ඡාවක්


(උපුල් වික්‍රමසිංහ)  

මේ වසරේ ඉදිරි කාලය සඳහා අලුත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බව මුදල් සහ අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ 2022 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනය තවදුරටත් ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව ගැටලුවක් පැන නැගී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  


ජාතික ආදායම සියයට 8.6 දක්වා පහළ වැටී ඇති තත්ත්වයක රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සඳහා අඩු කළ බදු යළි වැඩි කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවත් උද්ගතව ඇති ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය යෝජනා ඇතුළත් අලුත් අයවැයක් ගෙන ඒම සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමු ව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.