වසර හතරකදී රජයේ ආයතන ගොඩනැගිලි කුලියට ගන්න කෝටි හතළිස් අටදහසක් නැති කරලා


 

සුජිත් හේවාජුලිගේ  

රාජ්‍ය ආයතන 142 ක් සඳහා 2016 සිට 2020 දක්වා වූ වසර හතරේදී ගොඩනැගිලි හා ඉඩම් මිලදී ගැනීම, කුලියට ගැනීම, ගොඩනැගිලි ඉදිකිරීම සහ පුනරත්ථාපනය සඳහා පමණක් රුපියල් කෝටි හතළිස් අටදහස් දෙසීයක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එම කටයුතු සඳහා රජය වෙන්කර තිබූ මුදල රුපියල් කෝටි හැත්තෑ දෙදහසකි. රාජ්‍ය ආයතන ගොඩනැගිලි සහ ඉඩම් මිලදී ගැනීම, කුලියට ගැනීම මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම සහ පුනරුත්ථාපනය සඳහා වැය කර තිබූ මුදල මුළු රාජ්‍ය මූලධන පිරිවැයෙන් සියයට 16 ක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.  


එසේ වුවද රජයේ ආයතන බොහොමයක් ගොඩනැගිලි උපරිම කාර්යය සාධනයෙන් යුතුව ප්‍රයෝජනයට ගෙන නැතැයි විගණන නිලධාරිහු පවසති.  


අමාත්‍යාංශ දෙපාර්තමේන්තු, සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන, විශ්ව විද්‍යාල රාජ්‍ය සමාගම් හා ව්‍යාපෘති ඇතුළු රාජ්‍ය ආයතන 142 ක් (පසුගිය වසරේ මාර්තු මස 31 වෙනිදා වන විට) මේ ආකාරයට ගොඩනැගිලි භාවිත කිරීම් 1166 ක් සම්බන්ධයෙන් විගණන කාර්යාලයට තොරතුරු අනාවරණය වී ඇත.