වරායේ පඩි වැඩි කරන සාමුහික ගිවිසුම් වලට බාලගිරි දෝෂය


ඉන්දික හේවාවිතාරණ

වරාය සේවකයන්ට මේ වසරේ සිට ඉදිරි වසර තුනක කාලයක් සඳහා  වැටුප් වැඩි කිරීමට අදාළ  සාමූහික ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම නිසා අටදහසකට අධික වරාය සේවකයන් දැඩි නොසන්සුන්තාවකට පත් වෙමින් සිටින බව වරාය වෘත්තීය සමිති සඳහන් කරයි.

වැටුප් සාමූහික ගිවිසුම් මේ වසරේ ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක විය යුතුව තිබූ බවත්, රජය විසින්  පසුගිය  නොවැම්බර් 17 වන දින නිකුත් කළ චක්‍ර ලේඛයක් නිසා වැටුප් සාමූහික ගිවිසුම් අත්සන් කිරීම නවතා දැමූ බවත්  එම සමිති පෙන්වා දෙයි.


මෙය වරාය සේවකයන්ට සිදුකළ අසාධාරණ ක්‍රියාවක් නිසා ඒ පිළිබඳව වරාය වෘත්තීය සමිති බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු  පසුගිය මස 15 වන දින වරාය පාලන අධිකාරිය හා පිළිගත් වෘත්තීය සමිති අතර වැටුප් සාමූහික ගිවිසුම් අත්සන් කළ බවත්, මේ අනුව වරාය සේවකයන්ට සියයට විසිපහක වැටුප් වැඩි වීමක්  හිමි වූ බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි.


අදාළ වැටුප් වැඩි වීම මේ වසරේ ජනවාරි මස සිට 2026 දක්වා ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බවත්, ජනවාරි හා පෙබරවාරි මාසවල හිඟ වැටුප්  මාර්තු මාසයේ දෙවන සතිය වන විට ලබාදීමට පොරොන්දු වුවද අදාළ මුදල් මෙතෙක් ලබා දී නොමැති බව ද සඳහන් කරයි.


අඩුම තරමින් මාර්තු මාසයේ වැටුපත් සමග හිඟ වැටුප් ලබා දීමටවත් නිසි වැඩපිළිවෙළක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවත්,  මෙවැනි ක්‍රියා නිසා සේවක නොසන්සුන්තා සිදුවන බවත්, ඒ හරහා වරායේ කටයුතුවලට පවා ඉදිරියේදී බාධා සිදුවිය හැකි බවත් එම සමිති පෙන්වා දෙයි.