වනාතවිල්ලුව රක්ෂිතය අල්ලන්න උදව් කළ අයට වැඩ වැරදී


මනෝප්‍රිය ගුණසේකර

වනාතවිල්ලු‍ව ප්‍රදේශයේ රක්ෂිත වනාන්තර බලහත්කාරයෙන් අල්ලාගැනීම සඳහා දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අධාර අනුබල දුන් බව කියන වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් වන සංරක්ෂක දෙපාර්තමේන්තුවෙන්ම විමර්ශන ආරම්භ කොට ඇතැයි වාර්තාවේ.


රක්‍ෂිත වනාන්තරවල මායිම් වෙනස් කිරීමට මෙන්ම රක්‍ෂිත වනාන්තරවල ඉඩම් ලබාගැනීම සඳහා දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට රාජ්‍ය නිලධාරීන් සිය නිලය අයුතු ලෙස භාවිතා කරමින් ආධාර අනුබල දී ඇති බව හෙළි වීමෙන් අනතුරුව වන සංරක්ෂක දෙපාර්තමේන්තුව මෙම විමර්ශන ආරම්භ කොට ඇතැයි වාර්තාවේ.


එමෙන්ම නිතීවිරෝධී ආකාරයෙන් වනාතවිල්ලු‍ව ප්‍රදේශයේ රක්ෂිත වනාන්තර බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පුද්ගලයන් වහාම ඉන් ඉවත් කොට වනාන්තර යළි රජය සතු කර ගැනීම සඳහා ඉදිරි සතිය තුළ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වන සංරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කොට ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලු‍ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වීරක්කොඩි චෝලයි රක්ෂිත වනාන්තරය අල්ලාගෙන සිටි කිහිප දෙනෙකු ඉන් නෙරපා හැරීමට පසුගිය කාලයේ කටයුතු කළ වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වීරක්කොඩි චෝලයි රක්ෂිත වනාන්තරයට අයත් අක්කර විශාල ප්‍රමාණයක් මේ වන විටත් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින විවිධ තරාතිරම්වල පිරිසකට ඉන් වහාම ඉවත්වන ලෙස දැනුම් දෙමින් නෙරපීමේ දැන්වීම් භාරදී ඇත.