ප්‍රේමකීර්ති රණතුංග
රජය විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව ගෙන එන්නේ 1978 වසරෙන් පසු ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නොදැමීම නිසා හටගත් විෂමතා තුරන් කිරීමට බව, වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
රාජ්‍ය සේවක විශ්‍රාම වයස අවුරුදු හැට දක්වා ඉහළ දැමූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු හැට දක්වා ඉහළ නංවා ඇති බවත්, එහෙත් ඉහළ උසාවි දෙකේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 1978 දී ව්‍යවස්ථාවට ඇතුළු කළ පසු නැවත සංශෝධනය කර නොමැති බවත්, ඇමැතිවරයා පැවසීය.
මේ වන විට මහාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාමගන්වන වයස් සීමාව ද 1978 අධිකරණ සංවිධාන පනත අනුව අවුරුදු හැට එක දක්වා සිමාවී ඇති අතර, එය ද මේ දක්වා ඉහළ දමා නැති බවත් යම් හෙයකින් ඉදිරියේ දී රාජ්‍ය සේවක විශ්‍රාම වයස අවුරුදු හැට දෙක දක්වා දිගු කළහොත් මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ද මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසට වඩා ඉහළ යාමෙන් අධිකරණ ක්ෂේත්‍රයේ විෂමතාවක් ඇති වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියමකර ඇති අතර, පහළ උසාවිවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස නියමකර ඇත්තේ අධිකරණ සංවිධාන පනත අනුවය.
මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් අවුරුදු 65දී ද, අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් අවුරුදු 63දී ද, විශ්‍රාම යා යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියමකර ඇති අතර, 1978 අධිකරණ සංවිධාන පනත අනුව මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 බවට නියම කර ඇත. එතෙක් අවුරුදු 55 ලෙස පැවැති මහේස්ත්‍රාත් සහ දිසාවිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස රාජ්‍ය සේවක විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීමෙන් පසු එයට සමගාමිව අවුරුදු 60 දක්වා ඉහළ නැග ඇත.

