ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150 ක ප්‍රදානයක්


උපුල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙරට මූල්‍ය සහ ආයතන ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් ඩොලර් මිලියන 150ක් ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ලෝක බැංකුවේ විධායක මණ්ඩලය අනුමතය ලබා දී තිබේ.

පසුගිය 9 වැනිදා ලෝක බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රී ලංකාව නේපාලය සහ මාලදිවයින යන රටවල ලෝක බැංකුවේ නියෝජිතයා වන ෆාරිස් හාඩඩ් - සර්වෝස් මහතා සඳහන් කර ඇත්තේ මූල්‍ය අංශයට සහාය වීම සඳහා ශක්තිමත් මූල්‍ය ආරක්ෂණ දැලක අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසින් ඉස්මතු කරනු ලැබ ඇති බවත් ආර්ථිකය, ව්‍යාපාර සහ දුප්පත් ගෘහ ඒකක වෙනුවෙන් ස්ථාවර සහ විශ්වාසදායක බැංකු පද්ධතියක් අවශ්‍ය බවත්ය.


ශක්තිමත් තැන්පතු ආරක්ෂණ යෝජනා ක්‍රමයක් මගින් කාන්තාවන් හා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන්නන් ද ඇතුළු ව කුඩා තැන්පතු හිමිකරුවන්ගේ තැන්පතු ආරක්ෂා වන බව ද එයින් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ විශ්වාසදායක බව පවත්වා ගෙන යෑමට හැකි වෙතැයි ද ඒ මහතා ප්‍රකාශ කර තිබේ. 


මෙම මූල්‍යාධාරය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ යෝජනා ක්‍රමයේ සංචිත වැඩිදියුණු කිරීමට ඉවහල් වනු ඇති බවට ද ලෝක බැංකුව විශ්වාසය පළ කරයි.