ලොතරැයි පතක කොමිස් මුදල සත විසිපහකින් වැඩිකරන්න ඉල්ලයි


(මහින්ද නිශ්ශංක)  

ජාතික සහ සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිතයන්ට ලොතරැයි පතක් වෙනුවෙන් ලබා දෙන රුපියල් 3.75 ක කොමිස් මුදල රුපියල් 4.00 දක්වා වැඩි කරන ලෙස සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

දැනට ලබා දෙන කොමිස් මුදල වැඩි නොවීම සම්බන්ධයෙන් 4800 ක් පමණ වන අලෙවි නියෝජිතයින්ද 30,000කට අධික අලෙවි සහායකවරුන් ද දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා කීය.  


මීට අමතරව දැනට පහත වැටී ඇති ලොතරැයි අලෙවිය වැඩිකර ගැනීම සඳහා ලොතරැයි දිනුම් අවස්ථා වැඩි කරන ලෙසද සංගමය ඉල්ලා ඇත. 


දැනට පළාත් පාලන ආයතන මගින් පාලනය කරනු ලබන ලොතරැයි කුටි මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඒවායේ අයිතිය ලොතරැයි අලෙවි නියෝජිතයන්ට ලබා දෙන ලෙසට ද ඔවුහු ඉල්ලා සිටිති.  
දිනකට රජයට රුපියල් කෝටි 1 1/2ක පමණ ආදායමක් ලබා දෙමින් භාණ්ඩාගාරය ශක්තිමත් කරන ලොතරැයි අලෙවි නියෝජිතයන් සම්බන්ධයෙන් කිසිම සහනයක් ලබා නොදීම ගැන ඔවුන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බවද ඔහු කීය.