ලාන්සා කණ්ඩායම ජනපති සමග හමුවක් ළඟදීම


අජන්ත කුමාර අගලකඩ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව, නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටින නිමල් ලාන්සා මන්ත්‍රීවරයාගේ කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ළඟදීම පැවැත්වීමට නියමිතව ඇත.

මෙම  නව දේශපාලන සන්ධානයේ  නායකයා ලෙස, හිටපු ඇමති ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර ගැනීමට නියමිතව ඇති අතර, නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, පියංකර ජයරත්න, ඩබ්ලිව්. ඩී. ෙජ්. සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න ඇතුළු පොහොට්ටුවෙන් ඉවත්ව සිටින කණ්ඩායමක් සම්බන්ධ වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


නිමල් ලන්සා මන්ත්‍රීවරයා පසුගිය සතියේ ජනාධිපතිවරයා හමුවී  සාකච්ඡාව පවත්වා ඇති අතර, එහිදි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම නව සන්ධානය  සම්බන්ධයෙන් තමා එම කණ්ඩායම සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය. මීට අමතරව, ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ සමග ද තමා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති සඳහන් කර ඇත.


නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට නිමල් ලන්සා මහතා මහතා ඇතුළු කණ්ඩායමක් මේ දිනවල මූලිකව කටයුතු කරමින් සිටින අතර, එහි ඉලක්කය වී ඇත්තේ ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරවීම ය. මෙම නව දේශපාලන සන්ධානයේ පිහිටුවීම සඳහා වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට රාජගිරිය  ප්‍රදේශයේ නව කාර්යාලයක් ද විවෘත කර ඇත.