ලබන 17 - 18 කෝච්චි ස්ට්‍රයික්: “වෘත්තිය සමිතිවල පදයට මම නටන්නේ නෑ” - දුම්රිය සාමාන්‍යාධිකාරී කියයි


නිලු‍කා කුමාරතුංග

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව ලබන17 සහ 18 යන දෙදිනේ දී වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලොකොමොටිවි 
ඔෆිසර් ඇසෝසියේෂන් වෘත්තීය සමිතියේ ලේකම් සී. ආර්. සී. එම්. සේනානායක “ඉරිදා ලංකාදීප”යට පැවසීය. 

දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් ඉලක්ක කරගනිමින් මර්දනීය පිළිවෙතක් අනුගමනය කිරීම, දෛනිකව ධාවනය වූ 450ක් වූ දුම්රිය සංඛ්‍යාව 184කට අඩුකිරීමට නිර්දේශ ලබාදුන් නිලධාරීන් හෙළිනොකිරීම, ආපදා ණය ගෙවීම් පැහැර හැරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් අදාළ කරගනිමින් මෙම වැඩවර්ජනය කැඳවනු ලබන බව ඔහු කීවේ ය.   

මෙය හුදෙක් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමේ අරමුණින් සිදු කරනු ලබන්නක් නොවන බවත්, ආණ්ඩුව සමග ඇති ප්‍රශ්නයක් නොවන බවත්, හෙතෙම සඳහන් කළේය.  

මෙම වර්ජනය සඳහා දුම්රිය වෘත්තිය සමිති 23 ක් සහභාගී වන බව ද ඔහු සඳහන් කළේය.

මෙම වර්ජනය සම්බන්ධයෙන් අප දුම්රිය සාමාන්‍යාධිකාරි රවින්ද පත්මප්‍රියගෙන් කළ විමසිමකදී ඔහු සඳහන් කළේ, තමන් දුම්රිය වෘත්තීය සමිතිවලට අවශ්‍ය පරිදි කටයුතු නොකරන නිසා විවිධ චෝදනා එල්ල කරන බවයි. 

දුම්රිය නංවාලීමට කටයුතු කරමින් පවතින මේ මොහොතේ මෙය කඩාකප්පල් කිරීමට දරන උත්සාහයක් බවද ඔහු සඳහන් කළේය.

මෙය හුදෙක් දුම්රිය මගීන් අපහසුතාවට පත්කරන වෘත්තීය ක්‍රියාමාර්ගයක් බවද හෙතෙම කිය.

දුම්රිය සේවාව නංවාලීම සඳහා සේවක බඳවා ගැනීම් ඇතුළු සේවාවන් ක්‍රියාත්මක කරමින් පවතින මොහොතක මෙවැනි වැඩවර්ජන සිදු කිරීම අසාධාරණ බවද ඔහු පැවසිය.