ලන්දේසීන් නැවත දුන් පුරාවස්තු කටුගෙට


අංජුල මහික වීරරත්න

ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය නෙදර්ලන්තයේ කෞතුකාගාරවල මේ වන විට තැන්පත් කර ඇති පුරාවස්තුවලින් කිහිපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීමේ කටයුතු ලබන මස මුල් සතියේදී ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

ලන්දේසීන් රැගෙන ගිය පුරාවස්තු යළි ලැබුණු පසු, ඒවා තැන්පත් කරන ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ ජාතික කෞතුකාගාරයට ගිය අවස්ථාවේ දී සාගල රත්නායක මහතා මේ බව කීය.


නෙදර්ලන්ත රජය හා ශ්‍රී ලංකා රජය අතර පැවැති සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම පුරාවස්තු  නැවත ශ්‍රී ලංකාව වෙත ලබා දීමට තීන්දු කෙරිණි.
එම කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා  විසින් සම්බන්ධීකරණය කළ අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සංස්කෘතික කටයුතු අමාත්‍ය  විදුර වික්‍රමනායක මහතා එහි ප්‍රමුඛත්වය ගත්තේය.


යටත් විජිත යුගයේ ගෙන ගිය වටිනා සංස්කෘතික වස්තූන් මෙරටට රැගෙන ඒමෙන් පසු කොළඹ ජාතික කෞතුකාගාරයේ ස්ථාපිත කරන ලද අධි ආරක්‍ෂිත, ආර්ද්‍රතාවය පාලනය කරන ලද ස්ථානයන් හි තැන්පත් කිරීමට නියමිත අතර, දැනට වැඩ නිමවෙමින් පවතින එම විශේෂ ස්ථාන සාගල රත්නායක මහාගේ නිරීක්ෂණයට ලක්විය. 
කඩුකස්ථාන ඇතුළු පුරාවස්තු කිහිපයක් පළමු අදියර යටතේ ශ්‍රී ලංකාවට බාරදීමට නෙදර්ලන්ත රජය මේ වන විට එකඟ වී ඇති අතර ලබන මස මුල් සතියේදී එම පුරාවස්තු ජාතික කෞතුකාගාරයේ විශේෂ කුටියේ තැන්පත් කිරීමට නියමිතය.