ලක්ෂ 74 කට ගෙනා ගස් බලන මැෂිම දිරයි


නදීෂා අතුකෝරළ

2015 වර්ෂයේදී කොළඹ මහනගර සභා සීමාවේ ඇති ගස් පරීක්ෂා කිරීමට රුපියල් ලක්ෂ 74ක මුදලක් වැය කර මිල දී ගත් යන්ත්‍රය (Tree Scanner) භාවිතයට නොගැනීම නිසා දිරාපත්ව ඇති බව කොළඹ මහනගර සභා ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම යන්ත්‍ර මගින් ගසේ ව්‍යුහය පරික්ෂා කර ගස්වල ආයු කාලය, ඒවායේ ස්වභාවය පරීක්ෂා කළ හැකි වුවද එම යන්ත්‍රයෙන් ලබා ගන්නා දත්ත විෂ්ලේශනය කර තීරණ ගැනීමට හැකි නිලධාරියකු නොමැති වීම නිසා එය ප්‍රයෝජනයට නොගෙන දිරාපත්වන්නට ඉඩහැර ඇතැයි පැවසේ.


පසුගිය සිකුරාදා (06 දා) කොල්ලුපිටියේ දී බසයක් මතට ගසක් කඩා වැටීම නිසා පස් දෙනෙකු මියගිය අතර මිනිස් කටයුතු සහ වර්ෂාව නිසා මෙම ගසෙහි මුල් බුරුල්වීමෙන් ගස කඩා වැටුණු බව දැනට සිදුකරන පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.