ලක්ෂ 26ක බිල අපේ නමට එවන්න - නාමල් රාජපක්ෂ


හිටපු ජනාධිපති ආරක්ෂ අංශයට යොමු කර ඇති රුපියල් ලක්ෂ 26කට වැඩි විදුලි බිල තමන්ගේ හෝ තම පියා​ගේ  (මහින්ද රාජපක්ෂ) නමට නැවත යොමු කරන ලෙස ඉල්ලන බවත්  එය ගෙවා දැමීමට තමන් සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.


2019 වසරේ දී ලබාගත් විදුලිය වෙනුවෙන් මුදල් නොගවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වෙන ලිපිය පිළිබඳව කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2019 සැප්තැම්බර් 12 සහ 15 අතර කාලයේ ඔහුගේ වීරකැටිය නිවසේ පැවති උත්සවයකට සහභාගී වෙන බව දන්වා, තාවකාලික විදුලිය සපයා ආරක්ෂක පහන් සවිකර විදුලිය ලබාදී නැවත එම උපකරණ ගලවා ඉවත්කර ඇතත් මෙතෙක් එම කාර්යයට අදාළ මුදල ගෙවා නොමැති බව තොරතුරු දැනගැනීමේ පනත වෙතින් කළ ඉල්ලීමට අනුව අනාවරණය වී තිබේ. නලින්ද හේවගේ මහතා විසින් මෙම තොරතුරු ඉල්ලීම කර ඇති අතර ලංකා විදුලියබල මණ්ඩලයේ තොරතුරු නිලධාරියා විසින් ලබාදුන් තොරතුරු අනුව රුපියල් 26,82,246.57 ක් වන මුළු මුදල මෙතෙක් ගෙවා නොමැති බව අනාවරණය වී තිබේ. 


“මෙවැනි බිලක් මගේ නමටවත් තාත්තගෙන නමටවත් ඇවිත් නෑ. මේ බිල ඇවිත් තියෙන්නේ හිටපු ජනාධිපති ආරක්ෂක අංශයට. සාමාන්‍යයෙන් මෙවැනි විදුලිය ඉල්ලීමක් කරන්නේ ජනාධිපති ආරක්ෂක අංශයෙන්. බිල ලැබෙන්නෙත් ඔවුන්ට.  ඔවුන්ට යොමු කළ විදුලිය බිලක් ගැන අපේ දැනුවත් වීමක් නැහැ.  එහෙත් විදුලියබල මණ්ඩලය මේ විදුලි බිල මගේ හෝ තාත්තාගෙ නමට හරවලා අපට එවනවා නම් අපි බිල ගෙවනවා. මෙතෙක් ඒ ගැන දැනුම්වත් වීමක් අපට තිබුණේ නෑ. මම මේ හුවමාරු වන ලිපිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ද ලිපියක් යොමු කළා. බිල අපේ නමට ආවොත් කිසිදු ගැටලුවක් නෑ අපි ගෙවනවා” යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය.