ලංකාව තුන් වැනි මුදල් විශුද්ධිකරණ අන්‍යෝන්‍ය ඇගයීමට සූදානම් - මහ බැංකුව


මදුෂා දිල්ෂානි / පුන්සරා ගිම්හානි

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් වන තුන් වැනි අන්‍යෝන්‍ය ඇගයීම 2026 - 2027 යන දෙවසරේ දී සිදු කිරීමට සියලු‍ කටයුතු සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂිකා ආචාර්ය සුභානි කීර්තිරත්න මහත්මිය ඉකුත් (14) දින මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ දේශනයට එක්වෙමින් පැවසුවා ය.

එයට පෙර සූදානමක් වශයෙන් 2023 සිට ක්‍රියාත්මක ආයතනික සැලැස්මක් ද,පෙර සූදානම් සැලැස්මක් ද, ඉන්දියාව වැනි රටවල් සඳහා ක්‍රියාත්මක වන්නා වූ ආයතනික තාක්ෂණික සැලසුමක් ද ආදේශ කරගන්නා බව ඇය සඳහන් කළාය.

2006, 2014 සහ 2015 යන වර්ෂවල අවස්ථා දෙකකදී මූල්‍ය විශුද්ධිකරණ ක්‍රියාවලියට ලංකාව මුහුණ දුන් අතර එම අවස්ථා දෙකෙහිදීම අළු ලේඛනයට (Gray List) සහ අවදානම් දත්ත ලේඛනයට ද (Black List) ඇතුළත් වූ බව ඇය සිහිපත් කළා ය.

මේ වෙනවිට ගෝලීය මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලිය පස්වන වරටත් ආරම්භ වී ඇති බවත්‍් එහිදී රටක අවසාන තක්සේරුවෙන් පසු කාලය ML සහ TF යන දර්ශකයන්ගේ අවදානම් මට්ටම සහ රටක ආර්ථිකය සහ මූල්‍ය අංශවල සාපේක්ෂ ප්‍රමාණය යන අංශ කෙරෙහි අවධානය යොමු කරන බවත් කී අධ්‍යක්ෂිකාව ලංකාව මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලිය යටතේ පෙර තත්ත්වයන්ට සාපේක්ෂව ඉදිරියට ගමන් කර ඇති බව ද තුන්වන මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියට සාර්ථකව මුහුණ දීමේ හැකියාවක් පවතින බව ද කීවා ය.