ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වීම සඳහා චීන නැවකින් තවත් ඉල්ලීමක්


උපුල් වික්‍රමසිංහ

2024 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වීම සඳහා ෂියැන්ග් යැන්ග් හොන්ග් 3 චීන පර්යේෂණ නැව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා ඇතැයි දැන ගන්නට ලැබේ.

අප මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කපිල ෆොන්සේකා මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා පැවසුවේ එවැනි ඉල්ලීමක් ලැබී තිබුණ ද මේ දක්වා එය සැලකිල්ලට බඳුන් කර නැති බවය. වාර්තා වන තොරතුරුවලට අනුව අදාළ නෞකාව 2024 වසරේ ජනවාරි 5 වැනි දින සිට පෙබරවාරි 20 වැනිදා දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවසර ඉල්ලා ඇති අතර එම කාලයේ දී සාගර පර්යේෂණ කටයුතුවල නිරත වීමට නියමිතය. ෂියැන්ග් යැන්ග් හොන්ග් 3 චීන පර්යේෂණ නෞකාව සමග එක්ව සාගර පර්යේෂණ කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් දැනුම් දීමක් කර ඇත් ද යන්න ගැන අප ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (නාරා) ඉහළ නිලධාරියකුගෙන් කළ විමසීමක දී හෙතෙම සඳහන් කළේ මෙතෙක් ඒ ගැන දැනුම් දීමක් කර නැති බවය.


වසර 2022 දී යුආන් වන්ග් 5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණි අතර එහිදී ඉන්දියාවේත් ඇමෙරිකා එක්සත් ජනපදයේත් දැඩි අවධානය යොමු විය. ඉන්දියාව ඊට එරෙහිව ශ්‍රී ලංකා රජයට දැඩි විරෝධය පළකර සිටි බව ද ප්‍රකාශ විය. මේ අතර පසුගිය ඔක්තෝබර් මස 25 වැනිදා තවත් චීන පර්යේෂණ නෞකාවක් වන ෂ යැන් 6 නෞකාව කොළඹ වරායට පැමිණ මෙරට මුහුදු තීරයේ පර්යේෂණ කටයුතුවල නියැළිණ.