ලංකාවේ පළමු න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීම රුසියාවේ රොස්‌ඇටම්ට ?


උපුල් වික්‍රමසිංහ

න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා මේ වන විට රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ප්‍රංශය, ඩෙන්මාර්කය ආදී රටවල් ගණනාවකින් යෝජනා ඉදිරිපත්ව ඇති බවත්, ඒවායෙන් රුසියාවේ රොස්ඇටම් (ROSATOM) ආයතනය ඉදිරිපත් කළ යෝජනාව අනුමතය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවත් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ආර්. ඩී. රෝසා මහතා ඉරිදා ලංකාදීපයට සඳහන් කළේය.

රොස්ඇටම් ආයතනය එරට රජයේ ආයතනයක් යැයි ද මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමේ කටයුත්තට අදාළව සම්පූර්ණ වාර්තාවක් එම ආයතනය විසින් භාර දෙනු ලැබූ බව ද කී සභාපතිවරයා න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීමට අදාළව අභිලාෂය පළ කිරීමේ යෝජනාව මේ වන විටත් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව ද පැවසීය.
එම බලාගාරය ඉදිකිරීමට යන වියදම සම්බන්ධයෙන් රුසියානු සමාගමෙන් මිල ගණන් ඉදිරිපත් කර නැති බවත්, අදාළ යෝජනාව අනුව ඉදිරියට යන්නේ නම්, පළමුව දෙරටේ රජයන් දෙක අතර ගිවිසුම (Inter government agreement) අස්සන් කළ යුතු බවත් ඉන්පසු මිල ගණන් ඉදිරිපත් කරනු ඇති බවත් රෝසා මහතා කියා සිටියේය. 


විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙගා වොට් 400 ත් 600 ත් අතර ධාරිතාවකින් යුතු න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම ලංකාවට සුදුසු බව ද බලාගාරය ඉදිකරන ස්ථානය තවම තෝරා ගෙන නැතත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල මුහුදුබඩ ප්‍රදේශ ඊට සුදුසු බව හඳුනා ගෙන ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය. 


රටට න්‍යෂ්ටික බලාගාරයක් සුදුසු ද යන්න සම්බන්ධයෙන් මූලික ශක්‍යතා අධ්‍යයනයක් කළ බවත්, ගිවිසුම අත්සන් කළ පසු තවත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන බවත් කී මහාචාර්යවරයා මෙම බලාගාරය ඉදිකරන්නේ නම් ඒ සඳහා ආයෝජකයකු සොයා ගැනීම අවශ්‍ය බව ද අවධාරණය කර සිටියේය.