ලංකාවේ එන්නත්කරණය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශවලට පිටින්


රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති 
සමන් රත්නප්‍රිය  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට පටහැනිව ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණය සිදු කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.  

එන්නත්කරණ ක්‍රියාවලිය වෛද්‍ය සංගමයේ මැදිහත්වීම නිසා ඉතා අක්‍රමවත්ව සහ අසාධාරණ ලෙස ක්‍රියාත්මක වන බව ද ඔහු ප්‍රකාශ කළේය  


උදාහරණයක් ලෙස ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිද්ධියත්, වතු පිටිවල රෝහල් එන්නත් අක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කිරීම හා කොළඹ අක්ෂි රෝහලේ එන්නත් කරණයත් හැඳින්විය හැකි බව ඒ මහතා කියයි.  


සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ජනතාව නොසලකා තමන්ගේ හිතවතුන්ට එන්නත් ලබාදීමේ ජාවාරමක් බවට දැන් එන්නත්කරණය පත්ව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.  


සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 3000කට පමණ මේ වන විටත් එන්නත් ලබා දී නැත.  
මේ නිසා මෙම එන්නත් කරණය ක්‍රමවත්ව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.