රැකවරණය අහිමි කාන්තාවන්ට රජයෙන් රැකවරණ මධ්‍යස්ථාන


අමිල චින්තක ගමගේ

දිනෙන් දින කාන්තාවන්ට හා දරුවන්ට සිදු වෙන අඩත්තේට්ටම් හමුවේ රැකවරණය අහිමිවෙන්නන් වෙනුවෙන් තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කරන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

දැනටමත් එවැනි මධ්‍යස්ථාන 10ක වැඩ අවසන් කර තිබෙන බවත්, මාර්තු අවසානයේ අලුත්ම රැකවරණ මධ්‍යස්ථානය නුවරඑළියේ දී ආරම්භ කරන බවත් ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.


මේ වෙන විට යාපනය, මුලතිව්, මඩකළපුව, මොනරාගල, රත්නපුරය, ගම්පහ, කොළඹ, මාතර හා අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල මෙම මධ්‍යස්ථාන ඉදිකර තිබෙන අතර මේ වසර අවසානයේ සෑම දිස්ත්‍රික්කයම මෙවැනි මධ්‍යස්ථාන එක බැගින් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.


මෙම මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ආණ්ඩුවෙන් හා රාජ්‍ය නොවන සංවිධානවලින් ආධාර ලැබෙන බවද ඇමැතිවරිය පවසයි. පරණ නිවාස හෝ අතහැර දමා තිබෙන නිවාස මෙම මධ්‍යස්ථාන සඳහා යොදාගෙන ඇත. මවුපිය රැකවරණය අහිමි හෝ කුලී නිවාසවලින් හදිසියේ එළියට යාමට සිදුවෙන කාන්තාවන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර මාස 03 ක කාලයක් මේ අය සඳහා රැකවරණය ලබාදීමට අපේක්ෂා කරන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.