රාජ්‍ය කළමනාකරණ පුරප්පාඩු 7000 ක් නිසා සේවාවලට බාධා


ඉන්දික හේවාවිතාරණ

රාජ්‍ය කළමනාකරණ සේවාවේ  පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම දිගින් දිගටම කල් දමමින් තිබෙන බවත්, මේ නිසා රාජ්‍ය ආයතනවල කාර්යාලගත රාජකාරි සිදුකිරීමෙහි දී හා ජනතාවට සේවා සැපයීමෙහි දී ගැටලු රැසක් ඇතිවී තිබෙන බවත් රාජ්‍ය, පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම සේවය තුළ මේ වන විට 7000 වැඩි පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවත්, මෙම ප්‍රමාණයෙන් පුරප්පාඩු 5000ක් මධ්‍යම රජයේ ආයතන තුළ හා  2000කට වැඩි පුරප්පාඩු ප්‍රමාණයක් පළාත් සභා ආයතන තුළ පවතින බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර මහතා පැවසීය.


2020 වසර වන විට පැවැති පුරප්පාඩුවලට අනුව බඳවා ගැනීම් සිදුකිරීමට එම වසරේදී අයදුම් පත් කැඳවූ බවත්, මේ අනුව රුපියල් 600ක මුදලක් ගෙවා දහස් ගණනක් අයදුම්පත් ඉදිරිපත් කළ බවත්, මෙතෙක්  බඳවා ගැනීමට අදාළ විභාගය පවැත්වීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය. 


අයදුම්පත් කැඳවීමට අනුව මෙම විභාගය 2020 නොවැම්බර් පැවැත්වීමට මුලින්ම ගැසට් කළද, පසුව 2022 ජනවාරි මස 30 මෙම විභාගය පැවැත්වීමට තීරණය කළ බවත්, එදින විභාගය නොපවත්වා කල් දැමු බවත් ඒ මහතා පැවසීය.