රවී සෙනෙවිරත්නට එරෙහි ගල්කිස්ස උසාවියේ නඩුවට කොළඹ මහාධිකරණයෙන් අතුරු තහනමක්


මනෝප්‍රිය ගුණසේකර

බීමතින් රියපැදවීම ඇතුළු චෝදනා තුනක් යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති  නඩුව විභාග කිරීම අත්හිටුවමින්, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉකුත් සිකුරාදා (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ගොනු කළ ප්‍රතිශෝධන අයැදුම්පතක් සළකා බැලීමෙන් අනතුරුව, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම සැප්තැම්බර් 07 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබු මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා, එදින මහාධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට සහ නීතීපතිවරයාට නියම කරමින් නොතිසි ද නිකුත් කළේය.

අදාළ ප්‍රතිශෝධන අයැදුම්පතේ වගඋත්තරකරුවන් වශයෙන් වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සහ නීතීපතිවරයා නම් කර ඇත.

පෙත්සම කැඳවු අවස්ථාවේ දී පෙත්සම්කාර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න කරුණු දක්වමින්, 2023දී මුහුදු මාර්ගයේ වැල්ලවත්ත ප්‍රදේශයේ දී තම සේවාදායකයා අනතුරකට ලක්වූ බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැල්ලවත්ත පොලිසිය අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරී රිය ධාවනය සහ බීමත්ව රියපැදවීම යන චෝදනා තුන යටතේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලද බවත්, සඳහන් කළේය.

තම සේවාදායකයාට එරෙහි අදාළ නඩුව 2026 ජුලි 09 වැනිදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ දී අනතුරක් වළක්වා නොගැනීම යටතේ පවරා තිබු චෝදනාවට තම සේවාදායකයා වරද පිළිගත් බව දැනුම් දුන් ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න ඊට රුපියල් 2500/-ක දඩයක් ඔහුට නියම කෙරුණු බව ද සඳහන් කළේය.

එසේ තිබිය දී තම සේවාදායකයාට එරෙහිව පවරා තිබු අපරීක්ෂාකාරී රිය ධාවනය සහ බීමත්ව රියපැදවීම යන චෝදනා දෙක ඉල්ලා අස්කර ගැනීමට පැමිණිලිකාර වැල්ලවත්ත පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියත් මහෙස්ත්‍රාත්වරිය ඊට අවසර නොදී නඩුව අගොස්තු 20 වැනිදා විභාග කිරීමට තීරණය කළ බව දැනුම් දුන් ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා පැමිණිල්ල විසින්ම චෝදනා ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා සිටියත් මහෙස්ත්‍රාත්වරිය ඊට ඉඩ නොදීම යුක්ති සහගත නොවන බව පෙන්වා දුන්නේය”

මේ තත්ත්වය යටතේ තම සේවාදායකයාට එරෙහිව පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට පැමිණිලිකාර වැල්ලවත්ත පොලිසිය කළ ඉල්ලීමට අවසර නොදීම මෙන්ම නඩුව අගොස්තු 20 වැනිදා විභාග කිරීමට තීරණය කිරීමින් මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝග දෝෂ සහිත බව පෙන්වා දුන් ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා මහෙස්ත්‍රාත්වරියගේ එම නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා සිටියේය.”

මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාග කරන ලෙස ද ප්‍රතිශෝධන පෙත්සම විභාග කර තීන්දුවක් දෙනතුරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු තහනමක් නිකුත් කරන්නැයි ද වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන්නැයි ද ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.”

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ අකලංක බාලපටබැඳි මහතා කරුණු දක්වමින් පෙත්සම්කරු වෙනුවෙන් කළ ඉල්ලීම් සඳහා අවසර දීමට තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි පැවසීය.”

කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා ප්‍රතිශෝධන පෙත්සම විභාග කර තීන්දුවක් දෙනතුරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු තහනමක් නිකුත් කළේය.”

පෙත්සම්කාර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා වෙනුවෙන් නීතීඥවරුන් කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා පෙනී සිටියේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අකලංක බාලපටබැඳි මහතා පෙනී සිටියේය.