රටේ ප්‍රශ්න කතා කළ දින අටට මැතිසබේ වියදම රුපියල් කෝටි හතයි


රටේ ප්‍රශ්නයට ඒත් උත්තරයක් නෑ

(සුජිත් හේවාජුලිගේ)  

රටේ අර්බුදය නිර්මාණයවීමෙන් පසු පාර්ලිමේන්තුව අවස්ථා අටක් මේ දක්වා රැස්වී ඇති අතර මේ රැස්වීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් හත් කෝටි තිස් හය ලක්ෂයක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ රැස්වීම් පැවැත්වුණේ පසුගිය 5, 6, 7, 8, 19, 20, 21 සහ 22 යන දිනවලදීය. කෙසේ වෙතත් එම රැස්වීම් අටෙන්ම රටේ අර්බුදයට නිශ්චිත විසඳුමක් ඉදිරිපත්ව නොතිබිණි.  


රටේ අර්බුදය සම්බන්ධයෙන් දින කිහිපයක විවාදයක්ද පාර්ලිමේන්තුවේදී එම කාලයේදී පැවැත්විණ.  


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවෙස පිරිසක් පසුගිය මාර්තු මස 31 වැනිදා වැටලීමත් සමග මේ අර්බුදය නිර්මාණය විය. පාර්ලිමේන්තුව එක් දිනක් රැස්වීම සඳහා වැය වන සමස්ත පිරිවැය රුපියල් ලක්ෂ 92ක් පමණ වෙයි. මේ මුදල ගණනය කර ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයන්ගේ පඩි නඩි, දීමනා, විදුලිය, ජලය, ඉන්ධන, ප්‍රවාහන පහසුකම් ආහාර පාන, ලිපි ද්‍රව්‍ය සැපයීම යනාදී සියලු කටයුතු සියල්ල තක්සේරු කිරීමෙනි.  


පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනක පාර්ලිමේන්තුවේ දිනෙක වියදම දළ වශයෙන් රුපියල් ලක්ෂ අසූ හතක් පමණ වන බවට ගණන් බලා ඇත.