රටපුරාම රතු බිල් වැහි වැහැලා


ලොකු රොත්තකට ලයිට් - වතුර කැපෙන අවදානමක්

 

සුජිත් හේවාජුලිගේ
 
විදුලි සහ ජල අධික ගාස්තු  හේතුවෙන්  එම පාරිභෝගිකයන්ගෙන් සියයට තිහ  හතළිහකට  ආසන්න පිරිසකගේ විදුලිය  සහ ජල  සැපයුම කලට වේලාවට බිල් ගෙවීමට නොහැකිවීමෙන්  විසන්ධි කෙරෙන  අවදානමක් ඉදිරියේදී මතුවනු ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ.
 
විශේෂයෙන්ම මධ්‍යම පාන්තික සහ අඩු ආදායම්ලාභී  ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක්  මේ අවදානමට ලක් වනු ඇති බවද  ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.
පවතින ආර්ථික තත්වය හේතුවෙන් විදුලි සහ ජල බිල්පත් ගෙවීම ඉතා විශාල වශයෙන් අධෛර්යමත්වූ තත්වයක් දැනටමත් පවතින බව  වාර්තා වේ.  ජල බිල්පත වැඩිවීමත් සමගම ජනතාවගේ එම ගෙවීමේ හැකියාව තවදුරටත් බාල වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

විදුලි සහ ජල පාරිභෝගිකයන්ගෙන් සැලකිය යුතු පිරිසකට බිල් නිසි වෙලාවට  නොගෙවීම සම්බන්ධයෙන් රතු නිවේදන දැනටමත් නිකුත්වී පවතින බව දැනගන්න ඇත. මෙලෙස රතු නිවේදන නිකුත්වීමද ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බව එම  විශේෂඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

තවද විදුලි සහ ජල අධික ගාස්තු හේතුවෙන් බොහෝ ජනතාවට සිය වැටුපෙන්  අඩකට වැඩි ප්‍රමාණයක් මෙම බිල්පත් ගෙවීම සඳහා වැය වන බවත් බිල්පත් ගෙවීම සඳහා මෙසේ වැය කිරීමට සිදුව ඇත්තේ ආහාර සඳහා වැය කිරීමට තිබූ මුදල් බවත්  ආර්ථික විශේෂඥයන් කළ අධ්‍යයනවලදී පෙනී ගොස් ඇත. අධික විදුලි සහ ජල බිල්පත්  හේතුවෙන් ඉදිරියේදී එම තත්ත්වය තවත් උත්සන්නවී ජනතාවගේ ආහාර මිලදී ගැනීමේ හැකියාව තවදුරටත් බාල වනු ඇතැයි  විශ්වාස කෙරේ.

විදුලි බිල  සියයට එකසිය හැටකට වැඩි ප්‍රමාණයකින් මීට පෙර වැඩි වූ අතර ජල බිල්පත සියයට පනහකට වැඩි ප්‍රමාණයකින් ඉකුත් 3 වැනිදා වැඩි කෙරිණ.
මේ රටේ සමස්ත  විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 60කට වැඩිය.  ජල පාරිභෝගිකයෝ ලක්ෂ 6 කට වැඩි පිරිසක් සිටිති.

ජල සහ විදුලි බිල් පත් නොගෙවීම මත විදුලිය විසන්ධි කිරීමේදී පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන  මීට වඩා  නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස විදුලි හා ජල පාරිභෝගිකයෝ රජයෙන් ඉල්ලීමක් කරති.