රට හැර ගිය ලොකු දොස්තරලා 120 ක් තහනම් ලැයිස්තුවට


නිර්වින්දන 29 න් 12 කුත් ගිහින්

සුජිත් හේවාජුලිගේ

විවිධ හේතු මත රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් 120 කට වැඩි පිරිසක් අසාදු ලේඛන ගත කර ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තෘතීක සත්කාර සේවා) වෛද්‍ය  ප්‍රියන්ත  අතපත්තු මහතා පැවසීය.

නිර්වින්දන වෛද්‍යවරුන් 29 දෙනාගෙන් දොළොස් දෙනකු  සේවය හැර ගොස් සිටින බවද ඔහු කීවේය.


සේවය අතහැරගිය වෛද්‍යවරුන් මෙසේ අසාදු ලේඛනයට ඇතුළත්  කරනු ලබන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව  විසිනි. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන තොරතුරු අනුවය. 
සේවය අතහැර යන විශේෂඥ  වෛද්‍යවරුන්  ලයිස්තුව  අසාදු ලේඛනයට ඇතුළත්  කිරීම සඳහා කාණ්ඩ වශයෙන් මාස හයෙන් හයට  රාජ්‍ය සේවා කොමිෂන්  සභාවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


සේවය හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බොහෝ පිරිසක් විදේශ  සෞඛ්‍ය සේවයන් හා සම්බන්ධව සිටිති. වැඩි පිරිසක් සේවය හැර ගොස් සිටින්නේ  ආර්ථීක ප්‍රශ්න සහ වෘත්තීය ගැටළු සැලකිල්ලට ගෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අතර විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීමට රජයට  රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇත.