රජයේ නිලධාරීන් හැටෙන් ගෙදර යැවීම ස්ථිරයි


මුදල් ලේකම් දැඩි ස්ථාවරයක

සුජිත් හේවාජුලිගේ

මේ මස 31 වැනිදා වයස 60 සම්පූර්ණ වන රජයේ නිලධාරීන් කිසිවකුටත් සේවා දීර්ඝ ලබා නොදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන එහි ප්‍රධානීන් දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ. 

මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ නිලධාරීහු 27 දෙනෙක් සේවා දීර්ඝයක් ලබා ගැනීමට මේ දිනවල ලොකු පරිශ්‍රමයක යෙදී සිටිති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසුවේ සීමිත පිරිසකට සේවා දීර්ඝයක් ලබාදුනහොත් මුළු රාජ්‍ය සේවයම අවුලෙන් අවුලකට යෑම වැළැක්විය නොහැකි බවයි. එම නිසා සීමිත පිරිසකට කිසිසේත්ම සේවා දීර්ඝ ලබාදිය නොහැකි බව ද ඔහු සඳහන් කළේය.  


පාර්ලිමේන්තු නිලධාරීන් විසින් හත් දෙනාගේ ඉල්ලීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී ද පසුගියදා දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.  
මේ අතර වයස 60 සම්පූර්ණ වන නිලධාරීන්ට සේවා දීර්ඝ ලබා දුනහොත් තමන්ට විශාල අසාධාරණයක් වන බව පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවෝ 600කට වැඩි පිරිසක් ඒකාබද්ධ වී රජයට සහ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගිය දිනවල පැමිණිලි ඉදිරිපත් කළහ. විශ්‍රාම යෑම සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මේ මස 31 වැනිදාට වයස 60 සම්පූර්ණ වන නිලධාරීන් සියලු දෙනාට එහි අංශ ප්‍රධානීන් මාර්ගයෙන් දැනටමත් දැනුම් දී ඇත.  


රාජ්‍ය සේවකයන් සේවයේ යොදවා ගත හැකි උපරිම වයස 60 බවට පත් කරමින් රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.