රජයේ ණය පොලිය ගෙවීම : ජනවාරි සිට හැම පවුලකින්ම 38,000 ක්


සුජිත් හේවාජුලිගේ 

රජය ලබාගෙන ඇති ණයවල පොලී ගෙවීම සඳහා මේ රටේ සිවු දෙනකුගෙන් යුත් පවුලකට ලබන වසරේදී රු. 38757 මාසිකව වැය කිරීමට සිදුවන බව පෙනී යන්නේ යැයි පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

ලබාගත් ණයවල පොලිය ගෙවීම සඳහා රජයට  ලබන වසරේදී රුපියල් කෝටි දෙලක්ෂ හැටපන්දහස් එක  සීයක්  වැය කිරීමට සිදුවනු ඇතැයිද ඔහු කීවේය.

පොලී ගෙවීමට රජයට 2022 වසරේදී වැය කිරීමට සිදුවූයේ  රුපියල් කෝටි එක් ලක්ෂ පනස් හයදහස් පන්සීයක මුදලක් පමණක් බව පැවසූ අතුකෝරළ මහතා මේ වර්ෂයේදී ණය පොලිය ගෙවීමට රුපියල් කෝටි දෙලක්ෂ දහනව දහස් තුන්සීයක් වැය කිරීමට සිදුවූ බවද  ප්‍රකාශ කළේය.


එය පෙර වසරට සාපේක්ෂව සියයට හතළිහක වර්ධනයක් බවත්,  රජයේ ණය පොලිය ගෙවීම සඳහා මේ රටේ සිවු දෙනකුගෙන් යුත් පවුලකට මේ වර්ෂයේදී වැය වූයේ තිස් දෙදහස් හැට එකක් බවත්  මහාචාර්යවරයා කීවේය.


ලබන වර්ෂයේදී රජයේ මුළු අපේක්ෂිත ආදායමෙන් සියයට 65ක් ණය පොලී ගෙවීම සඳහා වැය කිරීමට සිදුවන අතර, එය රජයේ මුළු අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 70 කට ආසන්න ප්‍රමාණයක් බව පැවසූ අතුකෝරල මහතා රජයේ වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය මත අධික ණය ගැනීම හේතුවෙන් විශාල පොලී  පිරිවැයක් මෙලෙස දැරීමට සිදුව ඇති බවද පෙන්වා දුන්නේය.