රජයේ කන්තෝරුවල දුරකතනවලින් සියයට 13 ක් අක්‍රීය වෙලා


සමීක්ෂණයකින් හෙළි වෙයි

සුජිත් හේවාජුලිගේ 

රාජ්‍ය ආයතනවල මහජන සේවා සඳහා වෙන්කර ඇති පොදු දුරකතනවලින් සියයට දහතුනක් අක්‍රීය තත්ත්වයේ පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙනකු කළ සමීක්ෂණයක දී පෙනී ගොස් ඇත.

මෙම සමීක්ෂණය කරනු ලැබ ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සහ මහාචාර්ය මාලක රණතිලක යන මහත්වරුන් විසිනි.


එසේම රාජ්‍ය ආයතනවල දුරකතනවලින් සියයට 42 ක් වැඩ කළත් එම දුරකතනවලට ප්‍රතිචාර නොදක්වන බව ද සමීක්ෂණයේ දී පෙනී ගියේ යැයි  මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.


ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා 157 ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයක දී මේ තොරතුරු අනාවරණය වී ඇත.


මෙයට අමතරව ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ජනතාවට ලබා දී ඇති දුරකතන අංකවලින් සියයට 49 ක් අක්‍රීය තත්ත්වයේ පැවතුණු බව ද එම සමීක්ෂණයේ දී තොරතුරු අනාවරණයවී ඇත.


රාජ්‍ය නිලධාරීන්ගේ දුරකතනවලින් සියයට 22 ක් ක්‍රියාත්මක තත්ත්වයේ පැවතිය ද එම ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වූ  බව ද   මහාචාර්යවරයා කීය. එම නිලධාරීන්ගේ දුරකතනවලින් සත්‍ය ලෙස වැඩ කරන්නේ සියයට 29ක් පමණක් බවද සමීක්ෂණ වාර්තාව මේ අනුව පෙන්වා දෙයි.


ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි  නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් 589ක් යොදාගෙන මෙම සමීක්ෂණය කර ඇත. මේ හේතුවෙන් රාජ්‍ය ආයතනවල සේවා අපේක්ෂා කළ විශාල පිරිසක් දුෂ්කරතාවට පත් වූ බව පෙනී ගියේ යැයි එම මහාචාර්යවරු දෙදෙනා පැවසූහ.