යෝජිත ධීවර පනතෙන් යාත්‍රා හිමියන්ට ගැටලු රැසක්


ඉන්දික හේවාවිතාරණ

යෝජිත ධීවර පනත් කෙටුම්පත සම්මත වුවහොත් එක් දින යාත්‍රා හිමියන් 27,000කට ධීවර කටයුතු සිදු කිරීමට වෙරළේ සිට නාවික සැතපුම් 05 කට එපිට මුහුදට ගමන් කිරීමට සිදු වන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළ  යාම හා මාළු මිල විශාල ලෙස අඩු වීම නිසා එක් දින යාත්‍රා හිමියන් ඇතුළු සමස්ත ධීවර ප්‍රජාවම දැඩි ලෙස අසරණ වී සිටින බවද එම සංගමයේ සභාපති අරුණ රෝෂන්ත මහතා සඳහන් කළේය. ගැටලු විසඳන ලෙස ඉල්ලා ධීවර ජනතාව නිලධාරීන්ගෙන් හා බලධාරීන්ගෙන් අඛණ්ඩව ඉල්ලීම් කරමින් සිටින බවත්, ගැටලු විසඳීම අමතක කර දැනට පවතින ධීවර පනත සංශෝධනය කර නව පනතක් සකස් කිරීමට කඩිමුඩියේ කටයුතු කරමින් තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.


දැනට පවතින ධීවර පනතේ වගන්ති හැට 66ක් අඩංගු බවත්, යෝජිත පනතේ වගන්ති 179ක් තිබෙන බවත්, මේ අවස්ථාවෙහි දී අලුත් ධීවර පනතක් අවශ්‍ය නොවන බවත් සභාපතිවරයා පවසා සිටියේය.


නීති විරෝධී ලෙස ඉන්දියන් ධීවරයන් උතුරු මුහුදු සීමාවේ සිට කල්පිටිය මුහුදු සීමාව දක්වා මෙරට මුහුදු ප්‍රදේශවලට පැමිණ මත්ස්‍ය සම්පත කොල්ලකා ගෙන යන බවත්, බස්නාහිර මුහුදු ප්‍රදේශ දැඩි ලෙස ඛාදනය වීම හා මෙරට ජාවාරම්කාර පිරිස් තහනම් දැල් ආම්පන්න භාවිත කිරීම නිසා මෙරට ධීවර ජනතාව දැඩි ලෙස අසරණ වී සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.


මේ නිසා සිදු කළ යුතු වන්නේ ගැටලු විසඳා මෙරට ධීවර ජනතාවට නිදහසේ කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබාදීම බවත්, නව පනතින් සිදුවන්නේ මෙරට ධීවර ජනතාව තව තවත් අසරණ වීම බවත් හෙතෙම පවසා සිටියේය. යෝජිත පනතේ සඳහන් වගන්තියකට අනුව මෝටර් සවි කළ එක් දින යාත්‍රා වෙරළේ සිට නාවික සැතපුම් පහකට එහා සිට ධීවර කටයුතු කළ යුතු බවත්, එසේ සිදු වුවහොත් එක්දින යාත්‍රා හිමියන්ට නාවික සැතපුම් 05ක් ඉන්ධන දහනය කරගෙන නිකරුණේ ගමන් කිරීමට හා එම දුර නැවත නිකන්ම පැමිණීමට සිදුවන බවත් ඒ මහතා සඳහන් කළේය.


මේ නිසා ධීවර පනත සංශෝධනය කිරීම නවතා දමා දැනට ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙසට බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා තිබෙන බවත්, මෙම ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොලැබුණහොත් ධීවර ජනතාව මහ පාරට කැඳවා විරෝධය දැක්වීමට සැලසුම් කර තිබෙන බවත් සභාපතිවරයා පවසා සිටියේය.