යුගදනවි ගැන සාකච්ඡාවක් ඉල්ලා පක්ෂ 11 කින් ජනපතිට ලිපියක්


(අජන්ත කුමාර අගලකඩ) 

ආන්දෝලනයට ලක්ව ඇති, යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අතර ලබන සතියේදී සාකච්ඡාවක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 

මෙම කාරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන්නැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ජනාධිපතිවරයා වෙත ඉකුත් බ්‍රහස්පතින්දා ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබිණි. 


එම ඉල්ලීමට අනුව, ජනාධිපතිවරයා සහ පක්ෂ නායකයන් අතර මෙම හමුව පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ. 


යුගදනවි බලාගාරයේ කොටස් පැවරීම සම්බන්ධයෙන් විදුලිබල, ඛනිජතෙල් සහ වරාය වෘත්තීය සමිතිවලද විරෝධයක් එල්ල වී ඇති අතර, එම වෘත්තීය සමිතිවල නායකයෝ පිරිසක් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් සමග ඉකුත් බ්‍රහස්පතින්දා ශ්‍රීලනිප මූලස්ථානයේදී සාකච්ඡාවක් ද පැවැත් වූහ. 
මේ අතර මෙම කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයෝ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාද ඉකුත්දා හමුවී සාකච්ඡාවක් පැවැත් වූහ.