මැතිසබයේ මහ පුටුවේ ජනපති ලාංඡනය ගලවයි


විවෘත කිරීමේ උත්සවයටත් කොඩිය නෑ

සුජිත් හේවාජුලිගේ  

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  
ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය සවි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.  

අතිගරු යන නාමය, ජනපති ධජය සහ ජනපති ලාංඡනය පාවිච්චි නොකිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. මැතිසබයේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ මේ අනුවය.  
පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයේ මෙතෙක් පැවතියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සකස් කෙරුණු ලාංඡනයයි. එම ලාංඡනයද වේත්‍රධාරිවරයා විසින් පසුගියදා ඉවත් කරනු ලැබීය.  


මේ අතර පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් පසුව පැවැත්වීමට නියමිත විවෘත කිරීමේ උත්සවයටද ජනපති ධජය මෙවර භාවිතා නොකිරීමට තීරණය කර ඇතැයි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.