මැතිවරණ කොමිසමේ තවත් දෙදෙනෙක් වැට උඩ ?


මරණ තර්ජන එල්ලවූ සාමාජිකයන් දෙදෙනාට පොලිස් ආරක්ෂාව

අජන්ත කුමාර අගලකඩ   

මැතිවරණ කොමිෂන් සභාවේ තවත් සාමාජිකයන් දෙදෙනකු ඉල්ලා අස් වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.   
කොමිෂන් සභාවේ තවත් සාමාජිකයන් දෙදෙනකු ඉවත් කරවා ගැනීම සඳහා බලවතුන් කිහිප දෙනකු දැඩි උත්සාහයක නිරතව සිටින බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.  

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනකු වන එස්.බී. දිවාරත්න සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.කේ.පී. පතිරණ යන මහත්වරුන්ට එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන් ඔවුන් දෙදෙනාට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත.   


එක් සාමාජිකයෙකුට පොලිස් නිලධාරින් 4 දෙනකු බැගින්, අටදෙනකු ඔවුන් දෙදෙනාට ලබාදී ඇති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ද තහවුරු කළේය.   
මේ අතර, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ එම්.ජී. චාල්ස් මහත්මිය එම ඉල්ලා අස්වීම මැතිවරණ කොමිෂන් සභාවට මෙතෙක් දැනුම් දී නැතැයි එම කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.   


ඇය සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බව ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ නම්, එහි පිටපතක් හෝ කොමිසමට ලැබිය යුතුව ඇති නමුත් මෙතෙක් එය ලැබී නැතැයි ද ඔහු සඳහන් කළේය. කෙසේ වුවද මැතිවරණය මාර්තු මස 9 වැනි දා නියමිත ආකාරයට පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.   
මැතිවරණ සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී පුංචිහේවා මහතා සඳහන් කළේ, ලැබී ඇති මුදල් වලින් අවශ්‍ය කටයුතු දැනට කරගෙන යන බවය.   
මුදල් ඉල්ලා මහා භාණ්ඩාගාරයට ලිපියක් යොමු කර ඇති බවත්, ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී මුදල් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.   
මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ගේ නම්, කොට්ඨාස, ඔවුන්ගේ සලකුණු, ආදිය සමඟ එය ගැසට් කළ යුතු බැවින්, ගැසට් නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බවය. ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.   


ව්‍යවස්ථාපිත ක්‍රියාදාමයකින් හෝ අධිකරණ ක්‍රියා මාර්ගයකින්, මැතිවරණය නොපවත්වන ලෙස දැනුම් නොදුනහොත්, මැතිවරණය මාර්තු 9 වැනි දා නියමිත පරිදි පවත්වන බව ද ඔහු සඳහන් කළේය.