මාස නවයට පොලිසියට එරෙහිව පැමිණිලි 1677 ක්


ඉන්දික හේවාවිතාරණ

පොලිස් නිලධාරින්ගේ ක්‍රියා කලාපයන්ට එරෙහිව මේ වසරේ පළමු මාස  නවයක(09) කාලයේදී පැමිණිලි  එක්දහස් හයසිය හැත්තෑ හතක් (1677)  ලැබී තිබෙන බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කරයි.

පසුගිය වසරේදී පැමිණිලි එක්දහස් හයසිය හැත්තෑ හයක් (1676) ලැබී තිබූ අතර 2021 වසරේදී පැමිණිලි එක්දහස් අටසිය අනුතුනක් (1893) ක් ද 2020 වසරේදි පැමිණිලි එක්දහස් නවසිය හැටදෙකක් (1962) ද 2019 වසරේදි පැමිණිලි එක්දහස් පන්සිය හැට අටක (1568) ප්‍රමාණයක් ද ලැබී තිබෙන බව එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා කාලයේදී ලැබී තිබෙන පැමිණිලි 1677ක ප්‍රමාණයෙන් පැමිණිලි තුන්සිය තිහක (330) විමර්ශන කටයුතු අවසන් කර තිබෙන අතර මීට අමතරව මේ වසරේ සැප්තැම්බර් 30 වැනි දින වෙන විට පසුගිය වසරේ ලැබුණු පැමිණිලි 1676 ක ප්‍රමණයෙන්  පැමිණිලි නවසිය හැට දෙකක (962) විමර්ශන කටයුතු අවසන් කර තිබෙන බවද සඳහන් කරයි.
 
2021 වසරෙදී ලැබුණු පැමිණිලි 1893 ක ප්‍රමාණයෙන් පැමිණිලි 1445 ක ප්‍රමාණයක විමර්ශන අවසන් කර තිබෙන අතර 2020 වසරෙදී ලැබුණු පැමිණිලි 1962ක ප්‍රමාණයෙන් පැමිණිලි 1776 ක ප්‍රමාණයක් හා 2019 වසරෙදි ලැබුණු පැමිණිලි 1568 ක ප්‍රමාණයෙන් පැමිණිලි 1484 ක විමර්ශන කටයුතු අවසන් කර තිබේ.
 
ජාතික පොලිස් කොමිසමේ අනුමත තනතුරු ප්‍රමාණය එකසිය විසිහතක් (127) වෙන අතර එම ප්‍රමණයෙන් තනතුරු විස්සක් (20 ක්) පුරප්පාඩු  වී තිබෙන බවද ජාතික පොලිස් කොමිසම පෙන්වා දෙයි.
 
ජාතික පොලිස් කොමිෂන් සභාවේ මහජන පැමිණිලි විමර්ශන අංශයට හා පළාත් අධ්‍යක්ෂ කාර්යාලවලට පැමිණිලි පිළිබඳ තොරතුරු තැපැල් කිරීමෙන් හෝ සෘජුව යොමු කළ හැකි බවත්, මීට අමතරව 1960 ක්ෂණික දුරකතන අංකයට හෝ 0710361010 දරණ වට්ස් ඇප් අංකය මගින්  0112166555 ෆැක්ස් අංකයට හෝ info2npc.toc.lk විද්‍යුත් තැපෑලට හෝ pcms.npc.tov.lk පැමිණිලි ඉදිරිපත් කළහැති බවද සඳහන් කරයි.