මාස 10ට නිවාස ලක්ෂ පහක විදුලිය කපලා


ඉන්දික හේවාවිතාරණ

විදුලි බිල් නොගෙවීම නිසා මේ වසරේ ජනවාරි 01 දා සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළදී නිවාස, ව්‍යාපාරික ස්ථාන හා ආගමික ස්ථාන 512,247ක විදුලිය විසන්ධි කර තිබෙන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. 

විදුලිබිල් ගෙවීමෙන් පසු නැවත විදුලිය ලබාදීම සඳහා එක් ස්ථානයකින් රුපියල් 3,000ක අමතර මුදලක් අයකර ගෙන තිබෙන අතර මේ අනුව විදුලිය විසන්ධි කළ ස්ථාන 512,247ක ප්‍රමාණයට නැවත විදුලි සැපයුම් ලබා දී රුපියල්  1,536,741.00ක මුදලක් උපයා ගෙන තිබේ.


පසුගිය වසරේදී විදුලිබිල් නොගෙවීම මත ස්ථාන 193,904ක විදුලිය විසන්ධි කර තිබේ. මෙම ස්ථාන සියල්ලම විදුලිබිල ගෙවා නැවත විදුලිය ලබාගෙන තිබෙන අතර නැවත සේවා ලබාදීමෙන් විදුලිබල මණ්ඩලය එම වසර තුළදී 581,712.00ක මුදලක් උපයා ගෙන ඇත. 2021 වසරේදී  ස්ථාන 41,607ක විදුලිය විසන්ධි කර තිබෙන අතර  නැවත එම ස්ථාන සියල්ලම විදුලිබිල් ගෙවා විදුලිය ලබා ගෙන තිබේ. මේ අනුව අදාළ සේවාව ලබාදීමෙන්  එම වසර තුළදී 124,821.00 ක මුදලක් උපයාගෙන තිබේ.


පසුගිය වසරේ ජනවාරි මාසයේදී අලු‍තින් විදුලි සම්බන්ධතාවක් ලබා දීම සඳහා රු. 22500ක අයකර ගෙන තිබෙන අතර මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට අලු‍තින් විදුලි සම්බන්ධතාවක් ලබාදීම සඳහා රු. 49500ක මුදලක් අයකර ගන්නා බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.