මහවැලි ජලාශත් හිඳිලා විදුලියට දෙන්න අමාරුයි


නදීශා අතුකෝරළ

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මහවැලි ජලාශවල ජල මට්ටම සියයට 45 දක්වා අඩු වී ඇති බවත් විදුලිය නිපදවීම සඳහා ඉදිරියේදී නිදහස් කළ හැක්කේ සියයට 12 ක ප්‍රතිශතයක් පමණක් බවත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

වියළි කාලගුණය අඛණ්ඩව පැවතියහොත් විදුලිය නිපදවීම සඳහා ප්‍රමාණවත් තරම් ජලය මුදා හැරීමට නොහැකි වීමෙන් යළිත් විදුලි කප්පාදුවකට යෑමට සිදු වෙනු ඇති බවට ඒ මහතා අනතුරැ ඇඟවීය.


ජල විදුලිය උත්පාදනය සඳහා දැනට ජලය මුදා හැරිය හැක්කේ වික්ටෝරියා හා කොත්මලේ යන ජලාශවලින් පමණක් යැයි කී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, මේ වෙන විට පාවිච්චියට ගත හැකි ජල ධාරිතාව වික්ටෝරියා ජලාශයේ කියුබික් මීටර් මිලියන් 235ක්ද කොත්මලේ කියුබික් මීටර් මිලියන්  100ක්ද රන්දෙණිගල කියුබික් මීටර් මිලියන්  10ක්ද මාඋස්සාකැලේ කියුබික් මීටර් මිලියන් 50ක්ද සමනළවැව කියුබික් මීටර් මිලියන් 5ක් ඇති බවද සඳහන් කළේය.